කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
හැමදාම නෝනා බයිට් එකට ගත් අයකුට නෝනා ඔහු බයිට් එකට ගත් පළමු දිනයදාම රෙදි ගැලවී ගිය පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ ගාලු පුර ගම්මානයකින් අසන්නට ලැබේ.
සුදු නොවුණත් මිනිහා ගත්තේ සුදුවාය. ගමේ බඩුය. ගමේ බඩු කියන්නේ ගමේ වැල වරකාවලින් උත්පාදනය කළ ඒවාය. සෑමදාම නොවුණත් ගත්දාට නිවසේ සාදන බයිට් එකට අමතරව ඔහු නෝනාද බයිට් එකට ගත්තේය. ඒ මිතුරන් ඥාතීන් ඉදිරියේදීය. පිරිස වැඩිනම් නෝනා බයිට් එකට ගැනීම අනුලෝමව සමානුපාතිකය. අමු හිංගලෙන් කියනවානම් නෝනාගේ වැරදි වැඩියෙන් කියන්නේ වැඩියෙන් පිරිස ඉන්නා විටදීය.
මෙය ඔහුගේ නෝනාට වදයක්වී තිබිණ. එය ඇයගේ කීර්තියට ද ලොකු හානියක් වී තිබිණ. තමා බයිට් එකට ගන්නා අවස්ථාවේදී නිවසේ සාමය ආරක්ෂා කිරීමට සිනහසී එය ඇය මග හැරියත් මේ සම්බන්ධයෙන් ඇය සිටියේ නොසතුටිනි.
ඇය උයන කෑම රස නැතැයි කියන්නේ සෙනඟ ඉදිරියේය. විශේෂයෙන්ම මිතුරන් ඉදිරියේය. තමාට මීට වඩා හොඳ ඇඹේණියක් ගෙනෙන්න තිබුණේ යයි කියන්නේ ඇගේ ඥාතීන් නිවසට පැමිණි අවස්ථාවලය. මෙවැනි කිවහැකි සහ කිවනොහැකි දෑ කියමින් ඔහු ඇයව බයිට් එකට ගන්නේ හිමින් නම් නොවේ.
මෑතකදී කන පැළෙන්න බී සිටි ඔහුට ලොකු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූවේය. ඒ රාත්‍රී කාලයේදීය. ඔහු රාත්‍රියේම ඇඳ සිටි සරම කලබලයෙන් මාරු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියදී ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී ඇයට ඔහුට වූ අලකලංචිය දැනගන්නට හා දැක ගන්නට අවස්ථාව උදාවිය. ඒ සමගම ඔහු හොඳටම ලජ්ජාවට පත්විය. මේ සම්බන්ධයෙන් කාටවත් කටක් නොහොල්ලන ලෙස ඔහු ඇය පොරොන්දු කරවා ගත්තේය.
සුපුරුදු පරිදි එදාත් ඔහු සිය නිවසේ සිට ගමේ බඩු ගමේ දෙතුන් දෙනකු සමග ගනිමින් සිටියේය. මිනිහට දැන් ටිකක් වැඩිය. ඊට සමානුපාතව නෝනා බයිට් එකට ගනිමින් සිටියේය. ඒ නෝනා සම්මුඛවමය. නෝනාගේ ඉවසීමේ සීමාව පැන්නේය.
අයියේ ඔයාලා දන්නේ නැහැනේ මේ ළඟදී රෑක මෙයාට වුණු වැඩක් යැයි ඇය කීවේ ඒ ස්ථානයේ සිටි අනෙක් අයගෙන් සිය සැමියාට වූ වැඩය අසා ගැනීමට පොළඹවා ගැනීමටය. අනේ නංගී අපි දන්නේ නැහැනේ අපේ යහළුවාට වූ වැඩේ ගැන යයි මිතුරෝ කීහ. මෙයා මේ වගේ බීලා රෑ සරම තෙමාගෙන තිබුණා නේ යයි ඇය කීවේ ඔහු ගේ වෙරි හින්දමිනි. හැමදා නියං එකදා වැහිවලාවේ මෙන් එදා ඔහු නෝනා පමණක් නොව මිතුරන්ද බයිට් එකට ගත්තේ දැන් ඔහු ගමටම බයිට් එකක්වීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd