අනවශ්‍ය කටයුත්තක් කිරීමට යාමෙන් තම වලිගය හිරවී කරදරයට පත් වූ වඳුරකුගේ කථා පුවත සිහිගන්වන සිදුවීමක් පසුගියදා දකුණු පළාතෙන් අසන්නට ලැබෙයි.
මාතර දිසාවේ කන්දබඩපත්තුවෙහි හැදී වැඩුණු ඔහු කොළඹ ප්‍රදේශයට පැමිණියේ පෙදරේරු  වැඩ සඳහා අත්උදව්කරුවකු විලසිනි. කලක් ගත වෙත්ම එම රැකියාවෙන් දියුණුවට පත් වූ ඔහු නිවාස ඉදිකරන කොන්ත්‍රාත්කරුවකු බවට පත් විය. කිසිදු වත්කමක් නොමැතිව කොළඹ පැමිණි ඔහු දැන් නවීන පන්නයේ වාහන කිහිපයකම හිමිකරුවෙකි. 
කුඩා කල සිට ග්‍රාමීය පරිසරයක  හැදී වැඩුණු ඔහු මානුෂීය  හා නිහතමානී ගුණාංගවලින් හෙබි වුවත් ඔහුගේ පියා ඊට හාත්පසින්ම වෙනස් විය. ඔහු හැසිරුණේ සියල්ල දන්නා පුද්ගලයෙකු ලෙසිනි.
පසුගිය දිනෙක කොළඹ සිටින තම පුතු නවීන පන්නයේ මෝටර් රථයකින් නිවසට පැමිණි අතර ඒ වන විටත් ඔහු සිටියේ  යහළුවකු සමඟ තමාගේ හැකියාවන් ගැන පුරසාරම් දොඩමිනි.  


පුතු ස්නානය කරන අතරතුර  තම යහළුවා සමග රථයේ යතුර රැගෙන  ගොස් එහි නවීන අංගෝපාංග පිරික්සන්නටත් ඒවා ක්‍රියාත්මක කරන්නටත් වූයේ සියල්ල දන්නා අයකු පරිද්දෙනි.  
මේ අතරතුර එක් ස්ථානයක රඳවා තිබූ කුඩා ගෑස් සිලින්ඩරයක් වැනි යමක් දුටු ඔහු එය නිරීක්ෂණය කර එහි තිබූ ස්වීචයක් එබීය. ගත වූයේ නිමේෂයකි, ඉන් වේගයෙන් ගලා එන්නට වූ රෝස පැහැති කුඩකින් වාහනය ඇතුළතත්  එහි සිටි ඔහුගේ යහළුවත් වැසී ගියේ දෙදෙනාට දෙදෙනා නොපෙනෙන පරිද්දෙනි.
මින් කලබලයට පත් ඔවුන් වාහනයෙන් බැසීමට තැත් කළද එසේ කිරීමට නොහැකි වූයේ එහි දොරවල් වැසී තිබීමත්, දුමෙන් වැසී තිබීම හේතුවෙන් කිසිවක් නොපෙනී යාමත් නිසාවෙනි. කළ යුතු කිසිවක් නොවූ තැන දෙදෙනාම මර ළතෝනි දුන්නේ ඔවුන් බේරා ගන්නා ලෙසටයි. 
 මෙය ඇසුණු දිය නාමින් සිටි පුතු කලබලයෙන් දිවවිත් අසල්වාසීන්ගේ ද සහයෝගය ඇතිව  මොවුන් කඩිනමින් බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, රෝහලේදීද පියාට දොස් පැවරුවේ මින් මතුවටවත් මෙවැනි නොදන්නා දේ නොකරන ලෙසට අවවාද කරමිනි. එවැනි දෙයක් කිරීමට ගිය වඳුරාට සිදු වූ කරදරය ගැන ද පහදා දෙමිනි. පසුව දැනගන්නට ලැබුණේ ඔහු ක්‍රියාත්මක කර තිබුණේ හදිසි ගින්නක දී භාවිතයට ගන්නා ගෑස් සිලින්ඩරය බවයි.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්