නොදැන වෙළෙදාම් කරන්න ගිහින් අතේ තිබුණු තුට්ටු දෙකත් නැති කර ගත් දෙල් වෙළෙන්දකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ නගරයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 45 හැවිරිදි තිදරු පියෙක් පදිංචිව සිටී. දෑතේ රැකියාවක් නොමැති මෙම තිදරු පියා කාලයක සිට පෙදරේරු අත් උදව්කරුවකු ලෙස ප්‍රදේශයේ රැකියාවක් කර උපයා ගන්නා සොච්චම් මුදලින් බිරිද පාසල් යන දරු තිදෙනා ද පෝෂණය කර තමාද හැන්දෑවට පුංචියට උගුර.කට තෙමාගෙන ජීවත් වෙමින් සිට තිබේ. සිමෙන්ති වැලි ගඩොල් බාස් ගෝල මුදල් ද පසු ගිය කාලයේ අධික ලෙස ඉහළ යාමෙන් තිදරු පියා කුලී වැඩක් නොමැතිව එදා වේල දිවි ගැට ගහගෙන ද ඇත්තේ බොහොම අමාරුවෙනි. එන්න එන්නම දවසින් දවස නිවසේ අගහිගකම් වැඩි වෙද්දී ඇතැම් දිනවල බිරිඳ දරුවන් සමග එක වේලක් සම්බෝලයි බතුයි කාපු අවස්ථාද විය.
කීයක්වත් සොයා ගැනීමට බැරිම තැන ඉකුත් දිනෙක අල්ලපු ගමේ නිවසක් ඉදිරිපිට තිබුණු දෙල් ගහක පැසී තිබුණු දෙල් ගෙඩි ටිකක් දුටුවේය. දෙල් ගස අයිති නිවසට ගිය තිදරු පියා නිවසේ අගහිගකම් සම්බන්ධයෙන් නිවැසියන්ට පැවසීය. දෙල් ගසේ පැසී ඇති දෙල් ගෙඩි ටිකක් මුදලකට කඩාගෙන අලෙවි කර කීයක් හරි සොයා ගැනීමට අවශ්‍ය බව දෙල් ගසේ හිමිකාරිය ගෙන් තිදරු පියා බැගැහැපත්ව ඉල්ලීමක් කර සිටියේය.
ගෙඩියකට අන්තිම රුපියල් 75ක් අවශ්‍ය බව කාන්තාව තිදරු පියා හමුවේ පැවසුවාය. රුපියල් 120 ගානේ අලෙවි කර ගත හැකි යැයි සිතා දෙල් ගසට නැග ගෙඩි 60 ක් කඩාගෙන අලෙවි කර මුදල් ගෙනත් දෙනවා යැයි පවසා දෙල් ගෙඩි ටික රැගෙන පෙරවරු 11 ට පමණ කෑගල්ල නගරයට ගියේය. රුපියල් 120 ගානේ දෙල් ටික විකුණා රුපියල් 7200 මුදලක් සොයා ගත් තිදරු පියා දෙල් හිමිකාරියට රුපියල් 4500 ක් ගෙවීමට වෙන් කිරීමෙන් පසුව රුපියල් 2700 ක මුදලක් ලාභයක් ලෙස ඉතිරි කර ගත්තේය.
සුළු මොහොතකින් අසලින් පුවක් කවරයක් කර තියාගෙන යන පුද්ගලයෙකු දෙල් වෙළෙන්දා දුටුවේය. අයියේ පුවක් විකුණන්න දැයි ඇසුවේය. ‘‘ඔව් පුවක් ටික විකුණනවා’’ මිල ගණන් නොදත් දෙල් වෙළෙන්දා පුවක් ගෙඩියක් රුපියල් 10 ගානේ ගෙන තවත් තැනකට ඊට වඩා වැඩි මුදලකට දිය හැකි යැයි සිතා දෙල් වෙළෙදාම් කර ගත් රුපියල් 2700 ත් දෙල් හිමිකාරියට දීමට තබා ගත් මුදලින් රුපියල් 300 ක් ගෙන රුපියල් 3000 ක් සාදා පුවක් වෙළෙන්දාගේ පුවක් ටික ද මිලට ගත්තේය.
පුවක් කවරය කර තියා ගත් දෙල් වෙළෙන්දා පුවක් ටික වෙළෙදසැලකට දීමට රැගෙන ගිය අවස්ථාවේ දී පුවක් මිල හොඳටම පහළ බැස ඇති බව දැකීමෙන් දෑත් දෙක ඉනට තබා කල්පනා කළේය. අවසානයේ කර කියා ගත හැකි දෙයක් නොමැති තැන පුවක් ගෙඩියක් රුපියල් 5 බැගින් පුවක් ගෙඩි 300 ට රුපියල් 1500 ක් ගත්හ. දෙල් කඩා විකුණා උපයාගත් රුපියල් 2700 ලාභයෙන් ක්ෂණයකින් රුපියල් 1500 ක් පාඩු කර ගත් දෙල් වෙළෙන්දා නොදන්න වෙළෙදාමට යළි කිසි දවසක නොයන බව සිතා ආපසු නිවස කරා ගියේ දැන වෙළෙදාම නොදැන ගොවිතැන යනුවෙන් කියමනක් ඇති බව සිහි කරමින්ය.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd