රක්වාන ඩබ්ලිව්.ඒ. සිරිසේන
හෝටලයක මඟුල් උත්සවයකට සහභාගී වූ රක්වානේ මිතුරන් පිරිසකගෙන් වෙරිමර ගාතේ සිටි අයකු මනමාලිගේ නැගණියගේ අත්බෑගය තුළ තිබූ උසස් තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථනය සොරාගත් බව කියන පුද්ගලයාගේ කලිසමේ සාක්කුවේ තිබියදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අල්ලා ගැනීමට හැකි වූ සිද්ධියක් පසුගියදා වාර්තා විය.
හෝටලයේ පැවැති විවාහ මඟුල් උත්සවයකට සහභාගි වන ලෙස ආරාධනා ලැබූ මිතුරෝ පිරිසක් පසුගියදා ඊට සහභාගි වූහ. මඟුල් උත්සවයේදී මත්පැන් සප්පායම් වූ දෙපාර්ශ්වයේම පිරිස සංගීතයෙන් මුසපත්ව නැටුම් රංගනේ යෙදුණහ.
තම අත්බෑගය මේසයක් මත තබා මනමාලියගේ නැගණියද නටන පිරිසට එක්ව නටන අතර වෙරි වී සිටි මිතුරකු මෙසේ මත තිබූ අත්බෑගය විවෘත කර එය අවුස්සා බලන අන්දම එහි සිටි කිහිප දෙනෙකුගේම නෙත ගැටී ඇත.
උත්සවය අවසානයේ මිතුරෝද ආපසු රක්වානට පැමිණියහ. මනමාලිගේ නංගිගේ අත්බෑගය තුළ තිබූ ජංගම දුරකථනය එහි නැති බව දැනගත් පසු කවුරුත් කලබලයට පත්ව GPS තාක්ෂණය උපයෝගී කරගනිමින් නැති වූ ජංගම දුරකථනය තිබූ තැන සොයාගත් පසු කිහිපදෙනෙක් රක්වානට පැමිණි සැකකරුගේ නිවස සොයා ගියහ. ඔවුන් එහි යන විට අධික මත් ගතිය නිසා ඇඳ සිටි කලිසමද ගලවා දමා යට ඇඳුම පිටින් බිම වැතිරී සිටින පුද්ගලයාගෙන් දුරකථනය පිළිබඳ ප්‍රශ්න කරද්දී ගලවා දමා තිබූ කලිසම් සාක්කුව තුළින් නැති වූ බව කියන දුරකථනය නාද විය.
ඉන්පසු සිද්ධිය දුරදිග නොගොස් සැකකරුට අවවාද කර දෙපිරිසම සමථයකට පත්ව දුරකථනයද රැගෙන එහි අයිතිකරුවෝ නික්ම ගියහ.
අදාළ පුද්ගලයා දැන් මිතුරන්ට පවසන්නේ වෙනත් අයකු දුරකථනය සොරකම් කර වාහනයෙන් ආපසු එද්දි එය වෙරිමර ගාතේ සිටි තමාගේ කලිසම් සාක්කුවට දමා ඇති බව පවසමින් මිතුරන් මුණගැසීම මගහරින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd