IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


නංගිට වහ වැටී ගුටි නොකා බේරිලා


වියලු‍ව වාර්තාකරු 



මඟු‍ල් කපුවෙකුගේ මාර්ගයෙන් දැන හඳුනාගෙන සිටි අනාගත සහකාරිය බැලීම සඳහා තම මව්පියන් ඇතුළු ඥාති පිරිස සමඟ ඇගේ නිවසට ගිය තරුණයකු යෝජිත මනාලියගේ නැගණියට වහ වැටී අක්කා වෙනුවට ඇගේ නැගණිය කරකාර බඳින්නට කැමැත්ත පළ කිරීම හේතුවෙන් අක්කාත් නංගී යන දෙදෙනාම අහිමිව ගුටි නොකා හිස් අතින්ම නිවෙස් බලා පැමිණි බව කියවෙන පුවතකි.
 එම ගමනට එක් වූ පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
 ඔහු රජයේ රැකියාවක නිරත තරුණයෙකි. විවාහයක් කරගන්නට කල් යල් එළඹීම නිසා ඔහුගේ මවුපියන් ඔහුට දන්නා හඳුනන කපුවෙකුගේ මාර්ගයෙන් මනමාලියක් සොයන්නට වෙහෙසුනේ ඔහු තුළද ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොතිබූ නිසාවෙනි.


 මඟුල් කපුවාද දන්නා ශිල්ප යොදමින් තරුණයාට ගැළපෙන තැනකින් සහකාරියක් සොයන්නට වූයේ ඔහුට දෙපාර්ශවයෙන්ම හිමිවන දහසින් බැඳි පියලිවල තරම දන්නා නිසාවෙනි.
 තරුණයාටම ගැළපෙන වයසෙන් යුතු ප්‍රසන්න පෙනුමැති, රජයේ රැකියාවක ද නිරතව සිටින තරුණියක සොයා ගන්නට කපුවාට ගත වූවේ සතියකටත් අඩු කාලයකි.
 සෑම අතින්ම තරුණයාත් තරුණීයත් ගැළපෙන්නට වීම නිසා තරුණියගේ ඡායාරූප කීපයක්ද රැගෙන කපුවා වහාම තරුණයාගේ පාර්ශවය හමු වූයේ තම කාර්ය කඩිනමින් ඉටුකළ බව ඔවුන්ට ද පවසමිනි.
 දෙපාර්ශවය අතර දුරකථන අංක හුවමාරු කර දීමට ද කපුවා කටයුතු කළේ හැකි ඉක්මනින් විවාහය සිදුකළ යුතු බවට දෙපාර්ශවයටම උපදේශයක්ද ලබා දෙමිනි.
 සති කීපයක් තුළ තරුණයා මෙන්ම තරුණිය ද දුරකථන මාර්ග ඔස්සේ සිය අදහස් හුවමාරු කරගත් අතර තරුණිය හා තරුණයා කීප විටක්ම නගරයේ දී එකිනෙකා මුණ ගැසෙන්නට ද කටයුතු කළේ දෙපාර්ශවයටම හොර රහසිනි.
 ඒ වන විටත් දෙදෙනා අතර ගොඩනැගී තිබූ ආදර සබඳතාව විවාහයකින් කෙළවර කරගන්නට එකඟවීම නිසා තරුණියන්ගේ පාර්ශවයෙන් තරුණයාගේ පාර්ශ්වය වෙත ආරාධනාවක් ලැබුණේ විවාහයකට පෙර සිදු කරනු ලබන චාරිත්‍රවලට අනුව මනාලියගේ නිවසට පැමිණෙන ලෙසය.
 කතිකා කරගත් පරිදි තරුණයා මෙන්ම ඔහුගේ මවුපියන් ඇතුළු ඥාති පිරිසක් තරුණියගේ නිවස වෙත පැමිණියේ ලද ආරාධනාවට අනුවය. පිරිස නිවසට ඇතුළු වී මොහොතක් ගතවෙද්දී චාරිත්‍රානුකූලව බුලත් හෙප්පුවක් රැගත් විවාහ අපේක්ෂිත තරුණිය තරුණයා හමුවට පැමිණි අතර ආචාර සමාචාර පැවැත් වූ පිරිස ඉන් අනතුරුව ආ ගිය කතා බහේ නිරත වන්නට වූවේ දැන හැඳුනුම්කම් මුවහත් කර ගන්නටය.
 එහෙත් පැමිණි මොහොතේ සිටම තරුණයාගේ දෙනෙත් යොමු වී තිබුණේ විවාහ යෝජිත තරුණිය කෙරෙහි නොව ඇයටත් වඩා සුන්දර ඇගේ නැගණිය දෙසටය. ඔහු සිනාසෙන්නට වූයේත් ඉඟි බිඟි පාන්නට වූයේත් ඇයටය. පැමිණි මොහොතේ සිටම තරුණියගේ පාර්ශවයේ බොහෝ දෙනෙකුට තරුණයාගේ මෙම හැසිරීම දැනෙන්නට විය.
 දිවා භෝජනයේදී ද තරුණයාගේ ඇල්ම බැල්ම වැටී තිබුණේ පෙර කී නැගණියටය.
හෝරා දෙකක් ගත වෙද්දි විවාහ ගිවිසගත් තරුණියට ද ඒ බව දැනෙන්නට වූ අතර ඇගේ නැගණිය සිය අනාගත මස්සිනාගේ ඇල්ම බැල්ම ගැන සිය වැඩිමල් සොහොයුරිය දැනුවත් කරන්නට පසුබට නොවූවාය.
 කෙසේ වෙතත් මනාලයාගේ පාර්ශවයේ තීරණය පිළිබඳව මනාලියගේ පාර්ශවය විසින් විමසද්දී තරුණයාගේ පාර්ශ්වයේ පිරිස මෙන්ම කපු මහතා ද එතෙක් තරුණයා තුළ සිරකරගෙන සිටි අදහස තරුණියගේ පාර්ශ්වයට ඉදිරිපත් කරන්නට කටයුතු කළේ එය කොයි මොහොතක හෝ ඔවුන් වෙනුවෙන් දැනුවත් කළ යුතු නිසාමය.
‘පොඩි පරහක් තියෙනවා’. කපු මහතා කතාව පටන් ගත්තේය. ‘අපේ මනමාල මහත්තයා කියනවා අක්කා නෙවෙයි නංගි නම් කරකාර බඳින්නට කැමතියි කියලා.’  කපුවා සියලු‍ දෙනාටම ඇසෙනසේ පවසන්නට වූයේ මුවඟට සියුම් සිනහවක් ද නගා ගනිමිනි.
මෙතෙක් වේලා කේන්තිය මැඩ පවත්වාගෙන සිටි තරුණියන්ගේ වැඩිමල් ඥාතියකු සිය හඬ අවදි කළේ තරමක කෝපයක් ද ආරූඪ කර ගනිමිනි. ‘‘මහත්තයෝ ඔයාලා ආවේ අපේ වැඩිමල් දුව ගැන අදහසක් ඉදිරිපත් කරලා. දෙන්න කතාබහ කර ගත්තා. නගරයට ගිහිල්ල දෙන්න හම්බ වුණා. ගමේ අයත් දන්නවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉඟි බිඟි පාන කොටම අපට තේරුණා මොකක්ද වෙන්ඩ යන්නෙ කියලා . අපි ඒ විදිහට තෝර තෝර ගන්න දරුවෝ හදල නෑ. දෙන්නම හොඳට ඉගෙනගෙන තියෙනවා. දෙන්නටම හොඳ සුදුසුකම් තියෙනවා. සල්ලි බාගේ අඩුවකුත් නෑ. ලස්සන අඩුවකුත් නෑ. හැබැයි මහත්තයෝ දැම්මම අක්ක බලන්න ඇවිල්ලා නංගිට බැල්ම දානවා නම් ඉස්සරහට මොනවා වෙයි ද? ඒ හින්දා හරිම කනගාටුයි ඔයාලට දෙන්න කෙල්ලො අපි ළඟ නෑ. දැන් ඔය මහත්වරු තරහ නොවී යන්න. ආයේ මෙතන මඟුලක් වෙන්නේ නැහැ. යැයි පවසද්දී කරුණු නිවැරදි කරන්නට මනාලයාගේ පාර්ශවයේ පිරිස කොතෙක් උත්සාහ කළ ද අවසානයේ ඔවුන්ට සිදු වූයේ අක්කාත්, නංගිත් දෙදෙනාම අහිමිකර ගනිමින් හිස් අතින්ම නිවෙස් බලා යන්නටය.

 



අදහස් (0)

නංගිට වහ වැටී ගුටි නොකා බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site