තම දේවාලයේ දෙවියන්ට අගරු කළැයි චෝදනා කර සතියක් තුළ දඩුවම් පමුණුවන බවට වහසි බස් දෙඩූ කපුවකු සිද්ධියෙන් මසකට පසු එම තැතැත්තාගේ දෝෂාරෝපණයකට ලක්ව බියවී දේවාලයත් හැර දමා පලා ගිය පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
මේ අය දිනක් මේ දේවාලයට ගියේ තම ඥාතියකුගේ ඉල්ලීමක් අනුවය. ඥාතියාගේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කිරීමෙන් පසු එකී කාර්යය මොහොතින් ඉටු කරදිය හැකි බව කපුවා කීවේය. දේව මන්දිරය සේ හැඳින්වෙන කුටියට ගිය කපුවා එළියට ආවේ පෞද්ගලික බැංකුවකට මුදල් බැර කරන රිසිට්පතක් ඇතිවය. කපුවා එය සම්පූර්ණ කර තිබිණි.
මුදල රුපියල් දෙලක්ෂයක් ලෙස සටහන් කර තිබූ රිසිට් පත මේ තැනැත්තාට දුන් කපුවා ළඟම බැංකුවට ගොස් මුදල් තැන්පත් කර ඉක්මනින් එන ලෙසට දැන්වීය. එසේ එනවිට අවශ්‍ය නූලක් මතුරා දෙන බව ද කීවේය.
”කපු මහත්තයා මේ වැඬේ හරියයි නේද?”. ඔහු විමසුවේ රුපියල් දෙලක්ෂයක් යට කිරීමේ අවදානමක් ඇති බව දැන ගෙනය. මොනවා කියනවාද තමුසේ දෙවියන්ට අපහාස කළා. දෙවියන් දැන් උරණ වෙලා අහවරයි. තමුන්ට සතියකින් නොයන ගමන් යන්න සිදු වෙනවා සිකුරුයි කී කපුවා එම උපද්‍රවයෙන් බේරීමට දෙවියන්ට රන් දම්වැලක් පූජා කළ යුතු බවද කීවේය. එසේ නොකළහොත් සතියකින් මරණය උරුම වන බවටද සපථ කළේ ඔහු බියට පත් කරවමිනි.
වෙන දෙයක් වෙච්චාවේ මා ළඟ ලක්ෂ දෙකකුත් නැහැ. රන් මාලත් නැහැ. දෙයියන්ට මේ බව පේන්න එපැයි සිතූ ඔහු නිවසට ගියේ කපුවාට බැණ වදිමිනි.
එසේ නිවෙසට ගියත් ඔහු සතිය ගත කළේ හිතේ බයෙනි. කපුවා කිසියම් වින්නැහියක් කරාවියැයි ඔහු සිතුවේය. සතිය දෙක ගතවිය. කිසිම උපද්‍රවයකට ඔහු මුහුණ පෑවේ නැත. තම ඥාතියාගේ ගැටලූවද ඉබේම විසඳිණි. දෙලක්ෂය ඉතිරිවිය.
මසක් දෙකක් ගතවිය. ඔහු මේ දේවාලය ළඟින් ගමනක් ගියේය. එවිට වේලාව මැදියම විය. නව වසර උදාවට අවට පරිසරිය වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ඔහු සිටියේද තරමක බමන මතින් යුතුවය.
ආ කපු මහත්තයා මට මොනවාද කෙළේ බොරුවට කටමැත දොඩවන්න එපා අහිංසකයන් මුළා කර හම්බ කරන්න එපා කී ඔහු හොඳවායින් දෙක තුනක් කියද්දී කපුවා පරලවීම පසෙක තබා අනේ මට ගහන්න එපායැයි වැඳ වැටෙමින් දුවන්නට වූයේ මේ ශබ්දය බලන්නට ආ අසල්වාසීන් බලා සිටියදීමය.
පසුදා උදේම දේවාලය පිහිටි ගමේ පිරිසක් ඔහු සොයා ආවේ නව වසරට ආසිරි පැතුම් සමඟය. අයියේ අපේ ගමේ කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ මේ හොර කපුවාට දෙකක් කියන්න. අයියාට ස්තුති කරන්නයි ආවේ. මේ පිරිස කීවේය. සිද්ධියෙන් පසු දේවාලය තවම වසා ඇති හෙයින් නව වසරට සෙත් පැතීමද සිදු නොවීය.