නිකවැරටිය ප්‍රියානි මංගලිකා
දර ළිපෙන් කෑම උයා පිටුපස හැරී බලන විට ගෑස් ටැංකිය අතුරුදන් වීමේ අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාසන්න පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මේ දිනවල පවතින ගෑස් හිඟය මෙන්ම, මිල ඉහළ යාමද හේතුවෙන්, දර ළිපේ කෑම උයන ලෙස, විශ්‍රාමික සැමියා රැකියාවැති බිරිඳට නිරන්තර උපදෙස් දෙමින් සිටියේය.
මෙදින බිරිඳට පාන්දර නින්ද යාම හේතුවෙන් කෑම උයන්නටද නොහැකි විය. බිරිඳ කඩිමුඩියේ ලෑස්ති වී රැකියාවට පිටත්ව ගියේ ‘‘කැන්ටිමෙන් මොනවා හරි කන්නම්” යැයි විශ්‍රාමික සැමියාටද කියාගෙනය.
විශ්‍රාමික සැමියාද උදෑසන ආහාරයට ළඟ කඩයෙන් බනිස් ගෙඩියක් ගෙනැවිත් කෑවේය. තම බිරිඳට දහවල් බත්පත නොමැතිවීම ගැන කනගාටුවට පත් සැමියා දහවල් කෑම පිස රැකියාවට ගිය බිරිඳට ගෙන ගොස් දීමට කල්පනා කළේය.
පසුව විශ්‍රාමික සැමියා තම ගෙවත්තේ ඇවිද දර ටිකක්ද සොයාගෙන කුස්සියට ගොස් කෑම පිසින්නට විය. එළවලු දෙකක් සහ කරවල වෑංජනයක්ද සාදා බිරිඳට බත් පතද ඔතා, පිටුපස හැරී බලන විට ගෑස් සහිත ටැංකියේ බටය බිම වැටී තිබෙන අයුරුද, ගෑස් ටැංකිය අතුරුදන් වී ඇති අයුරුද දක්නට ලැබී ඇත.
උදේ තිබුණ ගෑස් ටැංකියට සිදු වූ දෙය ගැන සැමියාට උතුර දකුණ මාරු විය. එය එසේ වුවද ඇගේ බත් පතද රැගෙන සැමියා නියමිත වෙලාවට බිරිඳගේ කාර්යාලයට ගියේය. සිදුවූ දෙය ගැන බිරිඳටද කියා සිටියේය. තමා මෙම සොරකම ගැන පැමිණිල්ලක් දැමීමට පොලීසියට යන බවද සැමියා බිරිඳට කීවේය.
‘‘පොලිසි යන්න එපා මහත්තයා මිනිස්සු දැන ගත්තම ලැජ්ජාවේ බෑ. දැන් ගෙදර යන්න. අපි දර ළිපේම උයමු. වැස්සකුත් එන්න වගේ ගෙදර ගිහින් දර ටිකක් ගෙට ගන්න” යැයි බිරිඳ සැමියාට කීවාය. සැමියා මහත් කණස්සල්ලෙන් ගෙදර ගියේලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd