පෝද්දල සරත් ආනන්ද ගමගේ 



දානමය පින්කමක් සඳහා ඉඳිආප්ප ඕඩරයක් බාරගත් තැනැත්තියකට දිනය මාරුවීම නිසා සිදුව ඇති අලකළංචියක් ගැන අපූරු කතාවක් ගාලු‍ පුරයේ නගරයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
“ඉඳි ආප්ප ඕඩර් බාරගනු ලැබේ”‍ යැයි සඳහන් පුවරුවක් සිය නිවස ඉදිරිපිට සවිකර ගෙන මෙම නිවසින් අවශ්‍ය ඉල්ලු‍ම්කරුවන්ට ඉඳිආප්ප සැපයීම සිදු කළේය. එම නිවසේ හිමිකාරිය හා ඇගේ සැමියා මෙම ව්‍යාපාරය පවත්වාගෙන යති. පසුගිය දිනක අසල්වැසි නිවසකින් කතාකොට තම නිවසේ දානමය පින්කමක් යොදාගෙන ඇති නිසා ඒ සඳහා ඉඳිආප්ප දාහක සහ ප්ලේන් ආප්ප සීයක ඕඩරයක් ලබා දුන්නේය. දන්නා කියනා නිවසක් නිසා අත්තිකාරම් මුදලක් පවා ලබා නොගෙන ඇය ඕඩරය බාර ගත්තාය.
නියමිත දිනයේ ඇය උදෑසනම අවදිව යුහුසුළුව ආප්ප හා ඉඳිආප්ප සකස් කළාය. ඒත් ඔවුන්ගේ කරුමයට මෙන් ඕඩරය බාරදුන් නිවසින් බඩු ගෙනයාමට නොපැමිණියේ ය. පසුව එම නිවසට දුරකථන ඇමතුමක් ගත්තද ඊටද පිළිතුරු නොලැබුණේ ය. දැන් මහත් වික්ෂෝපයට පත්වී සිටි එම තැනැත්තිය දානමය පින්කම පැවැති නිවස අසල නිවසක කාන්තාවට දුරකථනයෙන් කතාකොට සිද්ධිය දැනුම් දුන්නාය. ඇය එහි ගොස් සොයා බලන්නම් කියා එම නිවසට ගියේය. එය සති අන්ත දිනයකි. අසල්වැසි කාන්තාව එම නිවසට යද්දී එම නිවැසියන් නින්දේ පසුවී ඇත. නිදා සිටින්නන් අවදි කිරීම යෝග්‍ය නොවූ බැවින් ඈ ආපහු හැරී ඒ බව ඉඳිආප්ප ගෙදර කාන්තාවට දැනුම් දුන්නාය.


“කමක් නෑ මං මහත්තයත් එක්ක ත්‍රී වීල් එකෙන් බඩු ගිහින් දෙනවා”‍ යැයි කියමින් පිළිතුරු දුන් ඈ අනතුරුව සිය සැමියා සමග නිවසේ ත්‍රීරෝද රථයෙන් ආප්ප හා ඉඳිආප්ප පටවාගෙන දානය පැවති නිවසට ගියේය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ දානය පවත්වන්නේ පසුදා බවය. ඉඳිආප්ප ඕඩරය බාරගත් තැනැත්තියට දිනය මාරුවී මේ අලකළංචිය සිදුව ඇතිබව එහිදී තහවුරු වී ඇත. 
හෙට පැවැත්වෙන දානයට අද ආප්ප ගැනීම තේරුමක් නැති නිසා ඔවුන් උදෑසන ආහාරය සඳහා යම් ප්‍රමාණයක් පමණක් ලබාගෙන තිබේ. අනතුරුව එම දෙපල විසින් අසල්වැසියන්ට හා ඥාති හිතවතුන්ට ඉතුරු ඉඳිආප්ප ටික නොමිලේ බෙදාදී “අපි ඉඳිආප්ප දන්සලක් දුන්නා”‍ යැයි කියමින් සිත සනසාගෙන ඇත.
ඒවා බෙදා දෙන්නට අසල්වැසි නිවෙස් වෙත ගිය විටදී එම කාන්තාව කියා ඇත්තේ “පාඩුව දරාගන්න පුළුවන් වුණත් හෙට උදේ ආයෙම මේ ඕඩරයම නැවත වියදම් කරන එක නම් දරාගන්න බැහැ”‍ කියාය.