මතුගම අධිකරණ මහිපාල ජයලත්



නව නිවෙසකට ගෙවදීමේ සාදයකට ගිය මිතුරන් දෙදෙනකුගෙන් එක් මිතුරකු නිවසට ඇවිත් බලන විට තම කටේ තිබූ කෘතිම දත් හතර නැති බව පසුදා අලු‍යම දැනගෙන නැවත පා ගමනින්ම ගොස් සොයාගත් පුවතක් කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වෙයි.
තම හිතවත් මිතුරකුගේ නව නිවසට ගෙවදීමේ උත්සවය සඳහා ආරාධනා ලැබූ මිතුරන් දෙදෙනකු ඒ සඳහා සහභාගී වූයේ රාත්‍රී භෝජන අවස්ථාවටයි. නියමිත ස්ථානයට යන විට ආරාධිතයන් විශාල පිරිසක් පැමිණ තිබූ අතර එම අය සඳහා වෙන වෙනම ස්ථානවල මේස තබා සැර බීම සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි.
එකට ගිය මිතුරන් දෙදෙනාටද මේ සඳහා පිළියෙළ කර තිබූ මේසයකට ආරාධනා ලැබුණ අතර දෙදෙනාද පිළිවෙළකට එම කටයුත්ත කරගෙන ගියේ වැදගත් අයුරෙනි. පසුව මොවුන් දෙදෙනා අසුන්ගත් මේසයට තවත් කීප දෙනකු එකතු වීමෙන් පසුසැර බීම ගැනීමේ සීමාවද ඉක්මවා ගියේ කාලයද නොදැනුවත්වම ගෙවී යාමෙනි. පදමද වැඩිවී රාත්‍රී ආහාරයට ආරාධනය ලැබීමෙන් පසු දෙදෙනාම රාත්‍රී ආහාර ගෙන තම යුතුකම ද ඉටුකර නිවසට යාමට පාරට පැමිණියේ පැමිණෙන බසයක නැගී යාම සඳහා වුවත් ඒ වනවිට අවසාන බසයද ගොස් තිබූ අවස්ථාවකදීය.


මේ වෙනුවෙන් වෙන කළ යුතු දෙයක් නොමැති නිසා එකම පිහිට පා ගමන නිසා අතරමගදී හමු වන වාහනයක නැග යමුයි කියා දෙදෙනාම ගමන් කළේ කෙසේ හෝ නිවසට යාම සඳහායි.
ටික දුරක් යන විට එක් මිතුරකුට මධුවිතවල ක්‍රියාකාරීත්වය වැඩි වීම හේතුවෙන් උදරය කලඹා දරාගත නොහැකි තත්වයක් ඇති වූයෙන් පාර අයිනේ තිබූ විදුලි කණුවක් මුලට ‘‘ඕක්”‍ ගා දැමුවේ රාත්‍රි ආහාරය සඳහා ගත් සියල්ල කිසිවක් ඉතුරු කර නොගෙනයි.
දෙදෙනා කෙසේ හෝ නිවෙස්වලට ගිය නමුත් අකරතැබ්බයට පත් මිතුරා නිවසේ පිලේ වූ දිගහැර තිබූ පුටුවක නිදා ගත්තේ බිරිඳගේ දෝෂාරෝපණයෙන් බේරීම සඳහායි. අලු‍යම යාමේ අවශ්‍යතාවයක් සඳහා ඇහැරී එළියට ගොස් ගෙට එන විට තමාගේ කටේ වෙනසක් දැනී කට අතගා බලන විට එහි තිබූ කෘතිම දත් හතර නොමැති බව තහවුරු වීම නිසා දෙවියන් සිහි වෙන්න පටන් ගත්තේ තව ටිකකින් බිරිඳ දොර ඇරියොත් ඇතිවන තත්වය හොඳ නොවන නිසයි.
ටික වේලාවක් මේ බව කල්පනා කරමින් සිටින විට ඔහුට ප්‍රධාන පාර අයිනේ විදුලි කණුව මුල සිදුවූ සිද්ධිය මතක් වීමෙන් හැකි වේගයෙන් ගමන් කළේ සුනඛයකු එම ස්ථානයට ළඟා වීතිබුණොත් වැඩ වරදින බව ද දැනගෙනයි. ස්ථානයට ගිය ඔහු ට බලාපොරොත්තු ඉටුවීම නිසා සතුටින් ගෙදර එන විට බිරිඳ නිවසේ දොර ඇර නොතිබීමද හොඳ වෙලාවක් යයි සිතා සතුටින් ගෙට ගොඩ වූයේ මිතුරාගේ නිවසේ සිට පැමිණෙන ආකාරයටයි.