(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
රුපියල් විසිපන්දහසේ පොලිස් දඩයෙන් බේරෙන්න යෙදූ විකල්පයෙන් රුපියල් ලක්ෂ හතරක් පහක් නැති කරගෙන ඒ මදිවාට භාර්යාවගේ කන්කරච්චලයෙන් බේරෙන්නට නොහැකි වූ අයකු පිළිබඳ කතාවක් දකුණු ළකේ ගමකින් අසන්නට ලැබේ.
එදා සන්ධ්‍යාවේදී ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ අවශ්‍යතාවකටය. රහමෙර පානය කිරීමට තියා ඒ ගැනවත් නොසිතාය. එහිදී විදෙස් රටක සිට පැමිණි මිතුරකු ඔහුට හමුවූවේ අහම්බෙනි. නොසිතූ මොහොතකය. දෙන්නා එහිදී හමුවූ සතුට බෙදා ගත්තේ බදාගෙනය. සිප වැලඳගෙනය. ආගිය කතා බොහෝය. කාලයකින් හමුවූ මිතුරාට දැන් සරුය. ඔහුට සතුටුය.
අහම්බෙන් වුවත් දෙදෙනාගේ හමුවීම සැමරීමට මිතුරා ඔහුට පොඩි ආරාධනාවක් කළේය. ඒ පොඩි ෂොට් එකක් දාගන්නය. ඒ ඉල්ලීම ඔහුට කෙසේවත් අහක දැමීමට නොහැකිවූවේය. එහි ප්‍රතිඵලය මත ඔවුන් දෙදෙනා දැන් නගර මධ්‍යයේ අවන්හලේය. හොඳ බයිට් එකක් ඔහු ඉදිරිපිටය. මුලින්ම ආවේ භාගයකි. භාගය බෝතලය දක්වා වැඩිවිය. දැන් දෙන්නටම බඩුය. නිවස මතක් වූවේ බෝතලය හිස්වීමෙන් පසුවය.
නිවසට යාමට ඔහුට ප්‍රශ්නයක් විය. ඒ යතුරු පැදියෙන් රහමෙර පානය කොට ගොස් පොලීසියට අසුවුණහොත් වදින දඩය විසිපන්දහසකි. මේ අවස්ථාවේ හැටියට එය කිසිසේත්ම කළ නොහැක්කකි. ඒ නිසාම ඔහු තීරණය කළේ යතුරු පැදිය අවන්හලේ තිබියදී කුලී ත්‍රීරෝද රථයකින් නිවසට යාමටය. ඔහු එය ක්‍රියාත්මක කළේ දමා යන යතුරු පැදිය පසු දින ගැනීමේ බලාපොරොත්තු ඇතිවය. මේ සම්බන්ධයෙන් තමාගත් විකල්ප මාර්ගය ගැන ඔහු සතුටුවූවේය. නිවසට ගිය කළ භාර්යාවටද ඒ ගැන පවසමින් තමාගේ මොළය ගැන ඔහු වර්ණා කළේය.
රාත්‍රි නින්දට ගියේය. සුබ සිහින දැක්කේය. පසු දා පහන්වූවේය. ඔහුට මතකයට ආවේ නගරයේ දමා ආ යතුරු පැදිය ගැනීමට යාමට ඕන බවය. ඒ අනුව ඔහු අදාළ ස්ථානයට ගියේය. එහි යතුරු පැදිය නොතිබිණ. ඔහුට තරු පෙනුනේය. අවන්හලේ අය එය පරිස්සමට තියන්නට ඇතැයි ඔහු සිතුවේය. ඔවුන්ගෙන් ඒ ගැන විමසුවේ ඒ නිසාය. ඔවුන්ගේ පිළිතුර රිනාත්මකය. එතන තිබූ යතුරු පැදිය ඒ අවට සෙව්වේය. පලක් නොවූවේය. ඒ ගැන පොලිස් පොතේද ලිව්වේය.
නිවසට ගියේය. තමාගේ මොළය අනුව පෙරදා රාත්‍රියේ කළ විකල්පය නිසා සිය යතුරු පැදිය අස්ථානගතවී ඇති බව භාර්යාවට කීවේය. ඇය ඔහුට දෙස්දෙවොල් තැබුවාය. යතුරු පැදිය නැතිව දරුවන් පාසලට ඇරලීම ප්‍රශ්නයක් විය. නෝනගේ අවශ්‍යතාවයන් සඳහා යාම ප්‍රශ්න පත්‍රයක් වී තිබිණ. ඒ සඳහා වූ එකම විකල්පය කුලී ත්‍රීරෝද රථයය. මේ දිනවල ඔහු හරිහම්බ කරන දේවලින් වැඩි හරියක්ම යන්නේ කුලී ත්‍රීරෝද රථවලටය. එදා යතුරු පැදියෙ කන පැළෙන්න බීලා එද්දී පොලීසියට මාට්ටු වුණා නම් හොඳයැයි දැන් ඔහුට සිතෙන්නේය. එහෙනම් යන්නේ රුපියල් විසිපන් දහසක් පමණක් බව කියමින් ඔහු දැන් ඉන්නේ පශ්චත්තාප වෙමින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd