ලොකු මුදලක් ගන්න හිතාගෙන කුලී ගමනක් ගිය ත්‍රීරෝද රථ රියදුරකුට හයර් එක නොව අතේ තිබූ මුදලුත් අහිමිවීමේ පුවතක් ගාල්ලට ආසන්න නගරයකින් අසන්නට ලැබේ.
ඔහු නගරයේ කුලී රථගාලක සිටින ත්‍රීරෝද රථ හිමියෙකි. ඔහු සිටි තැනට පැමිණි ටිකක් හැඩ ඇති පියකරු තරුණියක කියා සිටියේ ඊට ආසන්න නගරයකට කුලී ගමනක් යාම සඳහා එන ලෙසය. තරුණිය ත්‍රී රෝද රථයට ගොඩ වූවාය. ලොකු ගාණක් ගන්න පුළුවන් හයර් එකක් නිසා ත්‍රීරෝද රථහිමියාද බොහොම කැමැත්තෙන් තරුණියත් රැගෙන වේගයෙන් පිටත්ව ගියේය.
ආසන්න නගරයේ ලොකු වෙළඳසලක් අසල රථය නතර කර වූ ඇය ඉන් බැස වෙළෙඳසලට ඇතුළු වූවාය.
ටික වේලාවකින්  රථය අසලට පැමිණි ඇය ‘‘අයියේ මට සල්ලි වගයක් මදිවුණා. මට රුපියල් 2000 දෙන්න. මං අපේ ගේ ළඟ දී අරන් දෙන්නම්.’’ රියදුරා තම සාක්කුවෙන් ගෙන රුපියල් 2000ක් ඇය අත තැබුවේය. යළි වෙළඳසලට ගිය ඇය ටික වේලාවකින් පෙට්ටි දෙකක් රැගෙන ආපසු ආවාය. 
‘‘හරි යන් අයියේ.’’
රියදුරා පෙට්ටි දෙකත් ඇයත් රැගෙන ආපසු ඔවුන් සිටි නගරයට පැමිණියේය.
ඒ අතර රියදුරා  ඇය සමග කළ කතා බහේදී ඇයගේ මව රෝහලේ සේවය කරන බවත් පියා දැනට නිවසේ සිටින බවත් තම නිවස පිහිටා ඇති ප්‍රදේශය පිළිබඳවත් ඇය රියදුරාට පැවසුවාය.
මෙම පෙට්ටි දෙකත් රැගෙන තම නිවසට යන්නට ගිය ඇය එක්වරම තම නිවසට යන ප්‍රධාන මාර්ගයේ පිහිටි රෝහල අසලදී රියදුරාට කීවේ අයියේ ඔයා ඔතන ටිකක් ඔහොම ඉන්න. මම මේ එක පෙට්ටියක් රෝහලේ ඉන්න අම්මට දීල එන්නම්.’’
ඇය රැගෙන ආ ලොකු පෙට්ටිය ත්‍රීරෝද රථය තුළය. ඒ නිසා රියදුරාට බයවන්නට දෙයක් නැත. ඒ නිසා ඇය ආපසු එනතුරු ඔහු බලා සිටියේය. බොහෝ වේලා රෝහල අසල පාර අයිනේ රථය නතර කරගෙන ඇය එනතුරු බලා සිටියත් ඇය ආපසු ආවේ නැත.


බැරිම තැන රියදුරා ත්‍රීරෝද රථයේ ඇය තබා ගිය ලොකු පෙට්ටිය විවර කර බැලීය. රියදුරාට දොලේ රත්වූයේ එවිටය. එය හිස් පෙට්ටියකි. එහි කිසිවක් නැත.
කරකියා ගන්නට කිසිවක් නැති වූ රියදුරා ඇය පදිංචි නිවස වෙත ගියේය.
ඒ නිවෙස් හිමියා පැවසුවේ තමන්ට සිටින්නේ දුවකු හා පුතකු බවත් ඔවුන් විවාහකව කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතු බවත් නිවසේ සිටින්නේ තමාත් බිරිඳත් පමණක් බවය. බිරිඳද දැනට විශ්‍රාම ලබා නිවසේ සිටින බව ඔහු පැවසීය.
කියන්නට කිසිම  කෙනකු නැති තැන ඔහු ගෙදර ගොස් ‘‘අද නම් හොඳ ටොපියක් කෑවා’’ කියා බිරියට මේ ගැන පැවසූ විට ඇය කියා සිටියේ ඇහැට කනට පේන කෙල්ලෙක් නිසා තමුසෙත් බොහොම කැමැත්තෙන් යන්න ඇති තමුසෙ එක ටොපියක් කාලා ඔයින් බේරුණා ඇති’’ කියාය.

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර