අලු‍ත් අවුරුද්දට යයි කියමින් තුටු පඬුරුවලින් සාක්කුව පුරවා ගන්න ජනවාරි මස පළමු වැනිදා ගෙයින් ගෙට  ගොස් අලු‍ත් පාඩමක් ඉගෙනගත් අයකු පිළිබඳ කතාවක්  අලු‍ත්වල නගරයෙන් අසන්නට ලැබේ.
දූවරුන් දෙදෙනකුගේ පියෙකි. ජනප්‍රිය පුද්ගලයෙකි. මොළේ නිය පොත්තේ සිටය. මේ ජනවාරි පළමු වැනිදා සිය සාක්කුව පුරවා ගන්න ඔහු අපූරු උපක්‍රමයක් යෙදෙව්වේය.
එය ක්‍රියාත්මක කරමින් මිනිහා ජනවාරි පළමු වැනිදා අලු‍යම තමන් දන්නා හඳුනන යමක් කමක් ඇති අයකු හමුවීමට ගියේය. අද ජනවාරි පළමු වැනිදානේ මම ආවේ හා හා පුරා ඔබතුමාගෙන්  තුටු පඬුරක් ලබා ගන්නයි.
ඔබතුමත් එක්ක අලු‍ත් අවුරුද්දේ පඬුරක් ගත්තොතින් ඉතිං වරදින්නේ නැහැ. ඒකයි මම ආවේ යයි ඔහු මේ තැනැත්තාට කීවේය. එයින් පිනා ගිය හෙතෙම බුලත් කොළයක ඔතා මොනර කොළ පහක්ම තුටු පඬුරු ලෙස ඔහුට ලබා දුන්නේය. හේ ඔහුට සුබ පතා එම නිවසින් පිටව ගියේය. 


එසේ යන අතරමග දී ඔහු බුලත් කොළය විසිකර එහි ඔතා තිබූ මොනර කොළ පහ පමණක් සාක්කුවේ දමා ගත්තේය. ඉන් පසු තවත් දළ කාරයෙකුගේ නිවසට  ඔහු උදේ රැයින්ම ගියේය. මුලින් ගිය පුද්ගලයාට ගැයූ ප්‍රශස්තියම එහිදී ගායනා කළ ඔහුට එම පුද්ගලයා ද බුලත් කොළයක ඔතා මොනර කොළ දෙකක් ගුලි කර දුන්නේය. එම නිවසින් ද ඔහු සමුගෙන ආවේය.
ඔහු එසේ යන අතරමගදී ද අර පුද්ගලයා දුන්න මොනර කොළ දෙක සාක්කුවේ දමාගෙන එය ඔතා තිබූ බුලත් කොළය ද විසි කර දැම්මේය. මේ ආකාරයටම කතානායකයා තමන් දන්නා කියනා විහාරස්ථාන කිහිපයකටම ගොස් තුටු පඬුරුවලින් සාක්කුව පුරව ගනිමින් සිටියේය. ඒ වනවිටත් ඔහුගේ මුදල් පසුම්බියේ තුටු පඬුරු ලෙස මොනරු දහයක් පමණ තිබිණි.
එයින් නොසෑහුණු ඔහු උදෑසන ගෙවෙමින් තිබෙමින් තිබිය දී පවා මේ ආකාරයට තවත් හිතවත් දළ කාරයකුගේ නිවසට ද  ගියේය. එහි ගිය ඔහු  අර පරණ තැටියම මේ අයට ද  වාදනය කරමින් සිටියේය.
ඔය අවස්ථාවේ දී ඔහු ගිය නිවසක අයෙක් යතුරු පැදියකින් මේ නිවසට පැමිණියේය. ඒ අලු‍ත් අවුරුද්දේ මේ නිවැසියා සමග අල්ලාප සල්ලාපයේ  යෙදී ඇඟ රත් කරගැනීමටය. මොහු දුටු ඔහු ඇසුවේ, ‘මෙයා අද මේ වෙලාවේ මොකෝ’ යැයි. හා මේ මෙයා ද අද ජනවාරි පළමු වැනිදානේ මෙයා ඇවිල්ලා තියෙන්නේ අලු‍ත් අවුරුද්දේ හා හාපුරා කියා මගෙන් පඬුරක් ලබා ගන්න නේ’ යයි කීවේය. මහ හඬින් සිනාසුනු ඔහු කීවේ මෙයා අද උදේම අපේ ගෙදර  ඇවිල්ලා ඕකම කියලා පඬුරක් අරගෙන ගියා නේ යැයි ඔහු කීවේ දෙදෙනාම එකතුවී ඔහුට ඔච්චමට සිනාසෙමිනි.
කමක් නැහැ, කමක් නැහැ මමත් තුටු පඬුරක් දෙන්නම්කෝ කියමින්  නිවෙස් හිමියා සහ ආගන්තුක අය සමග නිවස ඇතුළට ගියේය. නිවෙස් හිමියා  බුලත් කොළයක  තුටු පඬුරක් ඔතාගෙන එළියට එන විට ඔහු  අතුරුදන්ලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත