පෝද්දල සරත් ආනන්ද ගමගේ 



නිකන් දෙන දේවල් පැනලා බාරගන්නා කාන්තාවකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ අපූරු කතාවක් ගාල්ල අගනගරය ආසන්න ගමකින් පසුගියදා වාර්තා විය.
ඇය පදිංචිව සිටි ප්‍රදේශයේ හැම දෙනාගේම සිත දිනාගෙන සිටින ජනප්‍රිය චරිතයකි. උදව්වක් අවශ්‍ය වන කෙනකුට ඈ පැනලා උදව් කරන්නීය. ඒත් ඒකට ඇගේ සැමියා නම් කියන්නේ අනුන්ගේ උලු‍ක්කු අදිනවා කියාය. 
ඈ උදව් කරන අයගෙන් ඊට ප්‍රතිඋපකාරද නොලැබුණාම නොවේ. එම නිවෙස් වල පළුදුවන උපකරණ ‘සුළු වරදක් තියෙන්නෙ අරන් ගිහින් හදාගන්න’ යැයි කියා දෙන ඕනම දෙයක් ඈ පැකිලීමකින් තොරව රැගෙන එන පුරුද්දක් ඇයට විය.


 එසේ ලැබුණු ග්‍රයින්ඩර්, රයිස් කුකර්, ස්ත්‍රික්ක කීපයක්ම දැනටත් ඇගේ නිවසේ අහුමුළුවල අඩුක්කර තිබේ. කෙනකු කතාකර කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් දුන්නද නිවසේ අය ඒවා අනුභව නොකළද ප්‍රතික්ෂේප නොකර ඈ ඒවා ගෙදර ගෙනේ. ඒවා නරක්වී කුණුවූ පසු ඒවා විසිකර දමන්නේද ඈ විසින්මය. මේ පුරුද්දට සැමියා විරුද්ධ වුවද ඔහුගේ කීම් ඇය තඹේකට මායිම් නොකරන්නීය.
පසුගිය දිනක අසල්වැසි නිවසකින් ඇයට කතාකොට පොල් ලෙලි උරයක් තියෙනවා යැයි කියමින් එය රැගෙන යන්නැයි පැවසුවේය. එම නිවසින් ලණු කෑල්ලක් ඉල්ලාගෙන පොල් ලෙලි දැමූ පොහොර බෑගයේ කට බැඳගත් ඇය එය රැගෙනවිත් ගෙයි පිළිකන්නෙහි තැබුවාය. සැමියා ඒ පිළිබඳව විමසීමේදී ‘පොල්ලෙලි ටිකක්. වතුර උණුකරන කොට ළිපට දාන්න පුළුවන්’ යැයි පිළිතුරු දී ඇත.
පසුදින පෙරවරුවේ ඇය සිය සැමියා අමතමින් ‘අර ඊයෙ ගෙනා පොල්ලෙලි බෑග් එකෙන් පුෂ් පුෂ් ගාල සද්දයක් එනවා”‍ යැයි පැවසීය. එහෙනම් ශුවර් එකටම නයෙක් රිංගලා ඉන්න ඇති. පොල්ලෙලි බෑග් වලට ගෙම්බො රිංගනවා. ඌ පස්සෙ නයෙක් එන්න ඇති. ඌ ගොදුර ගිල්ල ඒකෙම ඉන්න ඇති”‍ කියමින් ඇගේ සැමියා පොල්ලෙලි බෑගය වත්තෙන් පිටට ගෙන ගොස් විවෘත කළේය. ඔහු කිව්වා නිවැරදිය. බෑගයේ රිංගා සිටි නාගයා පිටතට ඇදී ලඳු කැලෑවට ඇදී ගියේය.
‘එක එකා දෙන දේවල් ඔහොම බාරගන්න එපා කියල මං කට කැඩෙනකන් කියල තියෙනව. අද ඉගෙන ගත්ත නේද පාඩම”‍ කියමින් සැමියා ඇගේ මෝඩකම් මතක් කරමින් ආඩපාලි කියන්නට පටන් ගනිද්දී ඈ නෑසූ කනින් ගෙට රිංගුවාය.
සිද්ධිය මේ වනවිට ප්‍රදේශයේ පැතිරී ඇත්තේ අර ඇන්ටිට අහවල් ගෙදරින් තෑග්ගට නයෙක් දීලා කියාය.