කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



පරණ අවුරුද්ද සමරන්න දෙවියන් දුන් තෑග්ග ප්‍රයෝජනයට ගෙන පරණ අවුරුද්දේ නිවසින් යන්න සිදුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
කොයිදේටත් මිනිහා ඉස්සරහට ගත්තේ බෝතලයයි. පරණ අවුරුද්ද ද එසේමය. එදා වේල පිරිමසා ගත්තේ කුලියක් මලියක් කර ගනිමිනි. එයින් භාගයක්ම ඉවර කළේ කාලයක් භාගයක් ගැසීමටයි. මායියා කඩයප්පම් තම්බා අහල පහළ වෙළඳ සල්වලට දමන නිසා නිවසේ මදිපාඩුව සම්පූර්ණ විය.
මේ අස්සේ පරණ අවුරුද්ද ආවේය. මිනිහට අපූරු වාසනාවක් පෑදුනේය. ඒ මේ ඊයේ පෙරේදා නිවසේ පරණ කබඩ් එකක් අතපත ගාමින් සිටියදීය. එහි අස්සක මොනර කොළ තුනකි. මේ මොනර කොළ දුටුවිට ඔහු එය ඉණේ ගසා ගත්තේ දෙවියන් තමන්ට පරණ අවුරුද්ද සැමරීමට දුන් තෑග්ගක් ලෙසය.


මේ ස්ථානයට මේ මොනරුන් වඩින්න හේතුවක් ගළපා ගැනීමට ඔහුට නොහැකි විය. අපි දිහාත් දෙවියන් බලනවා යයි කියමින් ඔහු පෙරේදා (30) මත්පැන් බෝතලයක් රැගෙනවිත් හැංගුවේ ඊයේ (31) නිමාවන පරණ අවුරුද්ද සැමරීමටය.
අලු‍ත් අවුරුද්දට අවශ්‍ය බඩු ගැනීමට කඩයප්පම් තම්බා එකතු කර මුදල් ටික ඔහුහේ භාර්යාව සෙව්වේ තමා හැංගූ කබඩ් එකේය. එහි මුදල් නොමැති බව දුටුවිට ඇයට දෙවියන් බුදුන් සිහිවිය. එකත් එකටම මේ මුදල් ගන්න ඇත්තේ තමාගේ සැමියා බව ඇයට පසක් වූවාය. නිවසේ ඇඳයට තිබූ බෝතලය ඊට සාක්ෂි දැරීය.
ඇඳ යටින් බෝතලය ගෙන පොළවේ ගසා ඇය සැමියා නිවසින් පිටමං කළේ තමා සැඟ වූ මුදල් සොයා ගෙන එන තෙක් නිවසට නොපැමිණෙන ලෙස ගෝරනාඩු කරමින්ය.