කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
උණුසුම් තේ කෝප්පයක් රස බැලීමට කිසිදා නොලැබෙන ගමේ තේ කඩයක මුදලාලි හාමිනේ කෙනකුට හොඳ පාඩමක් කියා දුන් වයෝවෘද්ධ ගැමියකු පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
කතාව මෙසේය.
මේ ගමේ කාන්තාවක් විසින් තේ කඩයක් පවත්වාගෙන ගියාය. ඇයගේ තේ මුට්ටිය නිතර ඇල්මැරී තිබුණි. උණුසුම් තේ කෝප්පයක් බීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
මේ කියන ගමට යාබද ගමේ වයෝවෘද්ධ ගැමියකු සිටි අතර ඔහු වයසට වඩා නිරෝගී පෙනුමක් පෙන්නුම් කළ අයෙකි. ඔහු නිතරම කෑම කෑවේත් තේ වතුර හෝ උණු වතුර බීවේත් දුම් පිටවෙද්දී උණුසුම් ලෙසය. එය ඔහුගේ ජන්ම පුරුද්දය.
මේ වයසක සීයා බොන තේ කෝප්පයක් තරුණ අයකුටවත් බොන්නට බැරි තරමට රස්නය තිබෙන බව කා අතරත් ප්‍රචලිතය.
අප කතා නායක උණුවතුර ගිල දමන සීයා දිනක් අර කියූ ගමේ තේ කඩයට ගොඩ වුණේ උණු උණුවේම තේ කෝප්පයක් බීමටය.
ඒ වෙලාවේ මුදලාලි හාමිනේ ජංගම දුරකථනයට ඇඟිල්ලෙන් කොටමින් සිටියාය.
“කෙල්ලේ මට බුබුළු දාලා පැහෙන වතුරෙන් තේ කහට කෝප්පයක් වක් කරලා දීපන්”යැයි සීයා පැවසුවේය.
මුදලාලි හාමිනේ තේ මුට්ටිය වෙත ළංවී මන්දගාමීව ඇවිළුණු ගින්දර සහිත තේ මුට්ටියෙන් ඕනෑවට එපාවට තේ කහට කෝප්පයක් වක් කරගෙන පැමිණ සීයාට පිළිගැන් වූවාය.
ඇය යළි ජංගම දුරකථනයට ඇඟිලි ගසන්නට වූවාය.
උණු වතුර උණු උණුවේම ගිල දමන පුරුද්දක් ඇති සීයා මුදලාලි හාමිනේ දුන් ඇල්මැරුණු තේ කහට කෝප්පය කෙරෙහි කෝප සිත් ඇතිව “කෙල්ලේ, උඹ මට කට හෝදන්න දීපු වතුර වලින් මම කට හෝදා ගත්තා. දැන් ඉතින් මට බොන්න තේ කහට ඩිංගක් වක් කරහං” යැයි ඇඟට පතට නොදැනී කිව්වේය.
මේ කතාවට තේ කඩයේ සිටි තුන් හතර දෙනෙක් හඬ නගා ඔච්චමට සිනාසුනහ. මුදලාලි හාමිනේට හොඳටම කේන්ති ගියාය. “මේ කඩේ මීට වැඩිය රස්නෙට තේ දෙන්නේ නෑ. සීයට ඕනෙ නම් වෙන කොහෙන් හරි ගිහිල්ලා බොන්න” යැයි මුදලාලි හාමිනේ කීවාය.
ඒ සිද්ධිය එතනින් නිමා වුවද, දැන් කඩේට එන හැමෝම මුදලාලි හාමිනේගෙන් තේ ඉල්ලන්නේ, නෝනේ, අපට බොන්න තේ කහට එකක් දෙන්නකෝ. “කට හෝදන්න එහෙම නෙවෙයි හොඳේ” යනුවෙන්ලු.
මුදලාලි හාමිනේ ඔවුන්ට “කට නෙවෙයි, හෝද ගනිල්ලා උඹලගේ අහවල් එක” යැයි කෝපයෙන් පිළිතුරු දෙනවාලු..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd