කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



ඩෝප් කාරයකු රැගෙන ගිය කුලී රථ යතුරු පැදිකරුවකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
දැන් දැන් නගරවල අලු‍ත්ම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ. රාත්‍රී කාලයේ කන පැලෙන්න බොන අය පොලිස් දඩයෙන් මිදීම සඳහා අලු‍තින් ආරම්භ කෙරුණු සේවාවකි. මේ සඳහා භාවිත කරනුයේ යතුරු පැදියකි. වෙරි මත්වූ අයකු දුරකතන ඇමතුමක් දුන් විගස අදාළ ස්ථානයට කුලී යතුරුපැදිය යන්නේ ය. ඒ අමතර ආරක්ෂිත හිස් වැසුමක් ද රැගෙන ය. එහි ඩෝප්කරු කියන ස්ථානයට බස්සවා ඒ සඳහා ගාස්තුවක් අය කරන්නේ ය. මෙය බෙහෙවින් ලාභ හෙයින් ඩෝප්කාරයෝ දැන් දැන් මේ නවමු අත්දැකීම විඳිමින් සිටිති. 
දිනක් රාත්‍රියේ කුලී යතුරුපැදිකරුට ගමනක් යාමට ඇමතුමක් එන්නේ ය. ඒ කන පැලෙන්න බිව් ආගන්තුක අයකුගෙන් ය. ලැබූ දුරකතන ඇමතුමට අනුව ඔහු එහි ගියේ ය. ඇමතුම දුන් පුද්ගලයාට හොඳටම වෙරිය. ඔහුට කෙළින් සිට ගන්නවත් බැරි තරමට බඩු ය. කොහොම හරි ඔහුගේ නිවස අසාගත් කුලී රියදුරු ඔහුව සිය යතුරු පැදියේ දමා ගත්තේ ය. තමා ගෙනා ආරක්ෂිත හිස් වැස්ම ද ඔහුගේ ඔලු‍වේ දැමුවේ ය. යන අතර මග ඔහු යතුරුපැදිකරුහොඳින් අල්ලාගෙන නිදි ය.
ඉතා අසීරුවෙන් යතුරු පැදිකරු මහ රෑම ඔහුගේ නිවස කරා ආවේ ය. ඔහුට යතුරුපැදියෙන් බැසීමට නොහැකි ය. ඒ නිසාම යතුරුපැදිකරු ඔහුගේ නිවසේ සිටි අයට කතා කළේය. දොර ඇරගෙන ආවේ කාන්තාවකි. ඇය අතේ කොස්සක් ය. තමුසේලා මේ මිනිහ එක්ක ගිහිල්ලා බොන්න දීලා දැන් අපිට කතා කරනවා වත්තන් කරන්න. ඉන්නවකෝ මම කරන්න යයි කියමින් කන පැලෙන්න බිවූ අයගේ භාර්යාව යතුරුපැදිකරුට අත වූ කොස්සෙන් නෙළන්න පටන් ගත්තාය. මම ආවේ හයර් එකක් කීවත් ඇය එය ගණන් නොගත්තේ ඇය මේ වෙනකම්ම මෙවැනි සේවාවක් ගැන නොදත් නිසා ය. එන පොට හොඳ නැති බව තේරුම්ගත් යතුරු පැදිකරු වෙරි වූ අය බිම දමා එතනින් මාරුව ගියේ තමාගේ කුලිය ද නොගෙන ය.