භූමිදාන කටයුතු කරන්න දේහයක් සුසාන භූමියට ගෙන ගිය පිරිසකට අලු‍ත්ම අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ සුන්දර ගමකින් අසන්නට ලැබේ.
ශෝකාකූල ඥාතී පිරිස එදා ගමේ පොදු සුසාන භූමියට ගියේ සිය ඥාතියා, හිතවතා භූමිදානය කිරීමටය. ඒ සඳහා දේහය ගෙන ගියේ කර මතිනි. දේහය සොහොන් භූමියට ගෙන ගියේ එය රැගෙන ගිය ගමන්ම කපා තිබූ වළට දමා භූමදානය කිරීමටය. දේහය දැන් කපා තිබූ වළ ළඟය. කට්ටියගේ කර මතය.
දේහය වළ දාන්න ඔන්න මෙන්න ය. දෙවියන්ට ඔප්පු වෙච්චාවේ! අයකු කපා තිබූ වළේ නිදිය. මෙය දුටු ශෝකාකූල පිරිස ශෝකය පැත්තකට දමා සිනා සයුරේය. ප්‍රශ්නය එය නොවේ දේහය කර මතා තබා ගෙන සිටි එවුන්ටය.


වළ තුළ නිදා සිටි කෙනා අවදිකරවන්න පිරිස ඔහුට අඩමොර ගෑහ. එහෙත් ඔහු නිදිය. මර නින්දේය. බොහෝ අය ඔහු මියගොස් ඇතැයි සිතූහ. ඒ නිසාම ඒ අවස්ථාවට සහභාගිවූ කොල්ලෝ කිහිපදෙනෙක්ම වළට පැන්නාහ.
ඔහු ඩෝප් සීන් එකේය. වළ කපන්න පැමිණ කන පැළෙන්න බිව් අයෙකි. වළට පැන්න කොල්ලන් දෙතුන් දෙනාට ඔහු වත්තම් කර ගොඩට ගැනීමට අපහසු විය. ඒ නිසාම තවත් කොල්ලන් දෙතුන් දෙනෙක්ම ඔහු ගොඩට ගැනීමට වළට පැන්නාහ. දේහය වළ ළඟ කට්ටියගේ කරමතය. වළ තුළ ඔහුගේ සිරුර කට්ටියගේ කර මතය. ඉන් අනතුරුව වළ තුළ කොල්ලන්ගේ කර මත තිබූ ඔහුගේ  සිරුර ගොඩට ඉතා අපහසුවෙන් පිරිස එකතුවී ගත්තෝය. කර මත තිබූ දේහය පිරිස ඉතා පහසුවෙන් වළට දමා භූමිදානය කළහ.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත