කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මිතුරකුගෙන් මිතුරාට ලැබුණු බෝතලය ඔහුගේ නිවසට දෙන්න ගොස් පෙරලුණු බාල්දියක් ගැන අලුත් අඳෝනාවක් බලපිටියෙන් ඇසේ.
තිදෙනාම මිතුරෝය. තුන්දෙනාම කන්නේ එකටය. දෙදෙනෙක් පමණක් බොති. අනෙකා නොබොමින් බොන දෙදෙනාගේ බයිට් එක යහමින් කොටා බාන්නේය.
ඔවුන් තිදෙනා බලපිටියේ මිතුරකුගේ වැඩකට ගියහ. එම වැඩය අවසානයේදී ඔවුන් තිදෙනාටම මිතුරා එක්කෙනාට එක බැගින් බෝතල් තුනක් දුන්නෝය. තුන්දෙනා බෝතල් තුන දෑතින් බදා ගත්තෝය. ඒවා රැගෙන පපු කැනතිවලට තුරුළු කර ගත්හ. වැඩේ කියනුයේ බොන මිතුරන් දෙදෙනා පමණක් නොව නොබොන මිතුරාද එම බෝතලය සිය පපු කැනැත්තට තුරුලු කර ගැනීමය.
මිතුරා දුන් බෝතලය ඉස්තරම්ය. ඒ නිසා ඔවුනට එම බෝතල් මහා නිධානයක් මෙන්විය. එක මිතුරකු අනෙකාට තමාගේ බෝතලය දුන්නේ එය ඔහුගේ නිවසට ගෙන ගොස් දෙන ලෙසය. ඔහු මේ තිදෙනාගෙන් වැඩකරුය. මහ මොළකරුය. ජනප්‍රියතාවය අනුව වුවත් අනෙක් දෙදෙනාට ඉහළින්ය. මේ පුද්ගලයාගේ බෝතලය මිතුරා රැගෙන ගියේ ඔහුගේ නිවසට දෙන්නය.
ඒ අනුව මේ මිතුරා ඔහුගේ නිවසට ගියේය. ගේට්ටුවට තට්ටු කළේය. එවිට නිවසේ වසා තිබූ දොර විවෘත කොට පැමිණියේ ඔහුගේ මවය. ඔහු දුටු ගමන් මේ මව ඇයි මොකදැයි කියා ඇසුවාය. මිතුරා මේ බෝතලය ගෙදරට දෙන්න කීවා යයි මිතුරා මේ මවට කීවේය. ඒ සමගම මළ ඕවර්වූ මේ අම්මා ඊයෙත් එකෙක් ඇවිත් බෝතලයක් දීලා ගියා. ඔහෙලා හදන්නේ අපේ දරුවා බීලා බීලා මරන්නද. පුදුම යහළුවන් තමයි අපේ එකාට ඉන්නේ යයි ඇය ඔහුට බැනගෙන බැනගෙන ගියාය.
අම්මේ මේ හොඳ වර්ගයේ බෝතලයක් යයි ඔහු කීවිට මේ අම්මාගේ දැන් මළ අතේය. ඕයි හොඳ බෝතලයක් බිව්වත් වෙන්නේ ආයුෂ අඩුවෙන එක තමයි. ඔන්න ඕකත් අරන් යනවා යයි කියමින් ඇය ඔහුට දෝස්මුරයක් දමමින් සිටියාය. ඔහුට දැන් හොඳටම හිනාය. අනේ අම්මේ මේක දුන්නේ මගේ මිතුරානේ ගෙදරට දෙන්න කියලා කී විට අම්මා කීවේ ඔය පාර ඔය බෝතලය මම පොළොවේ ගහනවා කියාය. මේ අම්මාගේ කියවිල්ල ඉවරයක් නැත. බොන්නදී සිය දරුවා නැති කරන බවට ඇය මිතුරන්ට බැන බැන සිටියාය. අම්මේ මේ බෝතලයේ තියෙන්නේ ඉස්තරම්ම බඩුවක් මිතුරා යළිත් ඇයට කීවේය. මම බබා කරන්න එන්න එපා ඔයා මොන ඉස්තරම් බඩු බීවත් වෙන්නේ ආයුෂ අඩු වෙන එක යයි කියමින් ඇය කෑගැසුවාය.
බැරිම තැන ඔහු අනේ අම්මේ මේ ඇපල්වලින් හදපු ජූස් එකක් මේ බෝතලයේ තියෙන්නේ යයි බයෙන් බයෙන් ඔහු ඇය ළඟට ගොස් කවරෙන් එළියට රැගෙන පෙන්නුවේය. හැබෑ නේන්නම්. මේ ඇපල් ජූස් බෝතලයක්නේ. පුතේ මේක අපිට බිව්වත් කමක් නැහැ නේ දැයි කියමින් මේ අම්මා ඔහුගෙන් සමාව භජනය කරන මෙන් ඉල්ලමින් මේ වටිනා ඇපල් ජූස් බෝතලය සිය පපුවට තුරුළු කරගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd