බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
බලංගොඩට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවු අපුරු සිදුවීමකි.
හෙතෙමේ වයස අවුරුදු විස්සක විසි පහක වයසේ පසු වන්නෙකි. ඔහු කිසියම් රැකියාවකට අයැදුම් කළේය. ඒ සදහා ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් සහතිකයක් අවශ්‍ය විය.
මෙකී තරුණයා ළමා කාලයේ ගමේ දහම් පාසලට ගියේ නැත. විහාරස්ථානයේ වැඩවලටද උදව් වූයේ නැත. ඒ නිසා විහාරාධිපති හිමියන් සමග ලෙන්ගතු ඇසුරක් නොමැත.
එහෙත් ඔහුගේ ආච්චි අම්මා නිතරම පන්සල් යන්නෙකි. විහාරාධිපති හිමියන් ද හොඳින් දන්නා හඳුනන කාන්තාවකි.
ආච්චි අම්මේ මට පන්සලේ හාමුදුරුවන්ගෙන් චරිත සහතිකයක් ගන්න ඕනි යමුද පන්සල් ඔහු දිනෙක සිය ආච්චිට කීවේය.
මම මොකටද උඹ ගිහින් අරගෙන වරෙන් ආච්චි කීවාය.
හාමුදුරුවෝ මම හරි හැටි අදුනන්නේ නැහැ.... අනේ ආච්චි යමුකො පන්සල් ඔහු කන් කෙඳිරි ගෑවේය.
හරි එහෙනම් බුලත් අතක් අරන් වරෙන් ආච්චි කීවාය.
ඒ අනුව දෙදෙනා පන්සලට ගියහ. අපේ හාමුදුරුවනේ මේ කොල්ලට රස්සාවට යන්න චරිත සහතිකයක් ගන්න ආවේ ආච්චි කාරණාව පැහැදිලි කළාය.
හොඳයි ඔය පැදුරෙන් වාඩි වෙන්නකෝ විහාරාධිපති හිමියෝ කීහ. ටික වේලාවකින් දිග ලියුම් කවරයක් විහාරාධිපති හිමියෝ ආච්චි වෙත ලබා දුන්හ. දෙදෙනා විහාරාධිපති හිමියන්ට වැඳ නමස්කාර කර පන්සලෙන් පිටවූහ.
මේ කොලු ගැටයා ටිකක් කපටි කයිරාටකයෙකි. ඔහුට චරිත සහතිකේ ගැන සැක සහිතය ලියුම් කවරය විවෘත කර බැලුවේය.
මෙම ලිපිය රැගෙන එන තරුණයාගේ ආච්චි අම්මා නිතර විහාරස්ථානයේ වැඩ සටහන්වලට උදව් කරන අයෙකි. සැම පොහෝ දිනකම අට සිල් සමාදන් වේ. ඉතා ගුණ යහපත් කාන්තාවකි යනුවෙන් තවත් කරුණු කාරණා සදහන් කර තිබිණි.
දෙයියෝ සාක්කි, හාමුදුරුවෝ චරිත සහතිකේ දීලා තියෙන්නේ මට නොවෙයි ආච්චිට ඔහුට කියැවිණි. අනේ ආච්චි මේක හරියන්නේ නැහැ. පන්සලට ගිහින් මට සහතිකයක් ඉල්ලගෙන එමු ඔහු ආච්චිට බැගෑපත් විය.
ඒක තමයි එදා ඉදලා මම උඹට කීවේ පන්සල් පලයන් කියලා උඹ ඒක ගාණකටවත් ගත්තේ නැහැ හරි ආපහු යමු මම හාමුදුරුවන්ට කියන්නම් ආච්චි කීවාය.
අනේ අපේ හාමුදුරුවනේ මේ කොල්ලට හරියන විදියට සහතිකයක් දෙන්න ආච්චි ඉල්ලා සිටියාය.
ඒක තමයි මම කියන්නේ ළමයො පන්සලේ වැඩවලට උදව් වෙන්න කියලා ලොකු හාමුදුරුවෝ කීහ.
ඒ අනුව ඔහුට ඉතා හොඳ සහතිකයක් ලබා දෙන්න විහාරාධිපති හිමියෝ කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි ගෘහපතිගේ කතාව කියවලා බලන්න බුදු දහම කාගෙවත් ඇඟේ බලෙන් ඔබ්බන දහමක් නොවේ. තමන් පන්සල් ගානේ දැවටීගෙන යන නොයන එක තමන්ගේ කැමැත්තක්. හාමුදුරුවන්ට පැහැදිලිවම මේ තරුණයාට චරිත සහතිකයක් ගන්න ආවේ කියලා කිව්වා කියලා පුවතේ තියෙන්නේ. එතකොට ඒ දීපු ලිපිය පස්සේ බලපු එක කපටි වැඩක් වෙන්නේ කොහොමද? මේ තරුණයා ගැන ලියුම්කරුගේ තියෙන අකමැත්තක් තියෙනවද කොහෙද, ඔහු ගැන සෘණාත්මක විදිහට ලියලා තියෙන්නේ. අනික චරිත සහතිකයක් පන්සලේ හාමුදුරුවන්ගෙන්ම ගන්න කියලා නීතියක් කොහෙද තියෙන්නේ? ග්‍රාමසේවකගෙන් ගන්නත් පුළුවන්නේ.