කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



ප්‍රාදේශීය සභාව ආසන්නයේ ඇති ආපනශාලාවකින් තේ එකක් බීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට මාසික සභා රැස්වීම දවසේ සිදුවන අමුතුම සොරකමක් අනාවරණය කර ගැනීමට හැකි වූ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මේ මන්ත්‍රීවරයා විපක්ෂයේය. දැන් බලයේ සිටින්නේ ඔහු කලින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වෙලා සිටි පක්ෂයය. එය වෙනමම කතාවකි. මේ මන්ත්‍රීවරයා සහාව තුළ දූෂණයට එරෙහිව මහා හඬක් නැගූ අයෙකි. දූෂණය, නාස්තිය ඔහුට අරහංය. ඒ වගේම ඔහු සිය සභාවේ කටයුතු පිළිබඳව සිටිනුයේ ලොකු සෝදිසියකිනි. විශේෂයෙන්ම සභාව තුළ සිදුවන ගනුදෙනු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නෙක් යයි කීවොත් නිවැරදිය. ඔහුගේ අදහස ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන සභාවේ දූෂණය හා නාස්තිය නොසිදුවිය යුත්තක් බවය.


එදා ඔහු සිය සභාව ආසන්නයේ පිහිටි ආපනශාලාවට ගියේ තේ එකක් බීමටය. තේ එකක් බීමට පෙර කෑමට තමන්ලාට සභා රැස්වීම දින තේ පැන් සංග්‍රහයට දෙන බිත්තර පාන් එකක් ගෙන්වා ගත්තේය. එය ගෙනා වේටර් කොලු‍වාගෙන් බිත්තර පාන් එකේ මිල ඇසුවේ නිකමට මෙන්ය. ඔහු දන්නා වේටර් කොලු‍වා කීවේ මන්ත්‍රිතුමා මේ බිත්තර පාන් එකක් රුපියල් අසූවයි. මෙහෙන් තමයි සභාවේ රැස්වීම දවසට දෙන්න බිත්තර පාන් ගෙන්වන්නේ යයි ඔහුට වේටර් කොලු‍වා කීවේද නිකමට මෙන්ය. හා එහෙම ද මන්ත්‍රීවරයා කොලු‍වාට කීවේය.
 හීනියට මෙන් ඔහුට සභා රැස්වීමට තේ එක සඳහා දෙන බිත්තර පාන් එකේ මිල සිහියට ආවේය. ඒ ඔහු සභාවේ වියදම් අනුමත කිරීම සඳහා සභාවට ඉදිරිපත් කරනු ලබන වියදම් විස්තරය ඉතා ඕනෑකමින් බලන නිසාය.
එම වියදම් අනුමත කිරීමට එන විස්තරයේ සභා රැස්වීම පැවැත්වෙන දින තේ පැන් සංග්‍රහය සඳහා ගෙන එන බිත්තර පාන් එකක මිල සියය බවය. එදින සභාවට එන මන්ත්‍රීවරුන්ට පමණක් නොව ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් සඳහා ද බිත්තර පාන් හැටක් පමණ ගෙන එන්නේය. මේ මන්ත්‍රීවරයාට ඒ බිල සිහියට ආවේය.
මෙවර පැවති මාසික සභා රැස්වීමේදී මේ මන්ත්‍රීවරයා තේ බීමට ගෙන එන බිත්තර පාන් එකකින් රුපියල් විස්සක් ගහන කේස් එක පයිල් කළේය. සභාවම ගිනි ගත්තේය. බිත්තර පාන් එකෙන් ගහන රුපියල් විස්සේ ඒවා හැට යන්නේ කාගේ සාක්කුවට දැයි දැන් මේ සභාවෙන් ඉන්නේ සොයමින්ලු‍.