කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ගෑස් පෝලිමේ සිටි ඇහැට කනට පෙනෙන කතකට අනුන්ගේ පරිප්පු ලුණු නැතිව කන්න සිදුවූ අපූරු පුවතක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
ගෑස් නැතිව දර ළිපේ උයා පියා ඇතිවී සිටි භාර්යාව ඔහුට කරදර කළේ කොහෙන් හෝ ගෑස් සිලින්ඩරයක් රැගෙන එන ලෙස ය. ඒ අනුව සිය නගරයේ ගෑස් අලෙවිසලට ගෑස් එන බව ඔහුට සැලවූවේ එදා උදේය. කුලී ත්‍රිරෝද රථයකින් ඔහු එම ස්ථානයට හිස් ගෑස් සිලින්ඩරය ගෙන ගියේ ය. ඒ වන විටත් එම අලෙවිසල ඉදිරිපිට ගෑස් පෝලිම ය. ඔහුත් ඊට එක්වූවේ ය.
ගෑස් ලොරිය එන බව කීවද තවමත් නොපැමිණි නිසා ඔහු යාබද සිටි ඇහැට කනට පේන කතක සමග කදයක් පටන් ගත්තේ ය. ඒ රටේ වත්මන් තොරතුරු ය. ගෑස් හිඟයෙන් පටන්ගෙන ඉරාන ඇමරිකානු යුද්ධය දක්වා ද එය දිග්ගැසී ගියේ ය. මේ යුද්ධයෙන් ඉදිරියේ දී ලංකාවට ඇතිවන තත්වය පිළිබඳව ද දැන් දෙන්නා කෙස් පැලෙන තර්ක විතර්කයේ ය. ඒ සඳහා ඔවුහු එක එක තර්ක ඉදිරිපත් කරති.
ගෑස් පෝලිමේ සිටගෙන සිට තර්ක කළ මේ දෙන්නාට දැන් හොඳටම තෙහෙට්ටු ය. ඒ නිසාමදෝ ඔවුන් දෙන්නාම පෝලිමේ ළං ළංව තබා තිබූ හිස් ගෑස් සිලින්ඩර දෙක උඩ වාඩිවී කතාවේ ය. පෝලිමේ සිටි අනෙක් අය ද මෙවැනි මවූ කතාවන් ය. එනිසාම පෝලිමේ අනෙක් අයට මේ දෙන්නාගේ කතාවට අවධානය යොමු නොවීය.
ගෑස් පෝලිමට ගිය සැමියා දැන් හොඳටම ප්‍රමාද ය. ගෑස් ගේන්න ගිය සැමියා ගෑස් ගෙන ඒම පසෙක තියා බඩේ ගෑස් නැති කරන්න කඩේකට ගොස් හිස් ගෑස් සිලින්ඩරය සොරු අරන් ගියාවත් දැයි ඇයට ලොකු සැකයකි. මේ පිළිබඳව විමසීමක් කරන්නට ද ඇයට හැකියාවක් ද නොවූවේය. ඒ ඔහු තමාගේ ජංගම දුරකතනය ද ගෙදර දමා යාම ඊට එක් හේතුවක් වී තිබිණ. ඒ නිසාම ඔහු පිළිබඳව සොයා බැලීමට ඇය ගෑස් අලෙවිසලට ගියා ය. එහි ගිය ඇයට දුර තියාම දක්නට ලැබුණේ ඔහු ඇහැට කණට පේන කතක සමඟ කතාවක ය.
දෙන්නා ළං ළංවය. කැකිරි පැලෙන සිනාද දෙන්නා අතර ය. මේ සමගම ඇයට උන්හිටි තැන් අමතක විය. ඇය ඔහු සමග සිටි කතගේ ඇඟට කඩා පැන්නා ය. ලැජ්ජා නැද්ද තමුසෙට මගේ මිනිහත් එක්ක මෙහෙම හැසිරෙන්න යයි කියමින් ඇය ගතු කීවා ය. තමාගේ හිසට මේ මොන මරාලයක් කඩා පාත්වුණා දැයි නොදත් ඇහැට කනට පෙනෙන කත හොල්මන් වූවා ය.
මේ කතගේ නිහඬතාවය ඇයට ලොකු ප්‍රහේලිකාවකි. ඒ නිසාම ඇය තවත් උරණවූවා ය. ඔහු හීන් සැරේ ටිකක් එහාට ගියේ ය. සිය භාර්යාව නවත්වන්න ගියහොත් තමාට සෙනඟ ඉදිරිපිටම භාර්යාවගෙන් ගුටිකන්න වෙන බවදත් ඔහු මේ තියරිය අනුගමනය කළේය. පිරිසගේ සිනා හඬ පැතිරේ. දැන් මේ ගෑනු දෙන්නා කෙහෙවළු පටල ගන්න ඔන්න මෙන්න ය. කරන්න කියන්න කිසිම කෙනෙක් නැත. හැමදෙනාටම රසවත් අත්දැකීමකි. මෙය බලා සමහරු මහ හඬින් සිනාසෙති. තවත් අය හුරේ දමති. දැන් එතන එකම ගාල ගෝට්ටියකි. ගෑස් අලෙවිකරු ද මෙතනට ආවේ ඔය අස්සේ ය. ඔහු දෙන්නටම දැඩි අවවාද කළේය. ඔහු එතනින් නික්ම ගොස් ය. දැන් හිස් ගෑස් සිලින්ඩරය සමග පෝලිමේ සිටියේ ඔහුගේ භාර්යාව ය. ලුණු නැතිව අනුන්ගේ පරිප්පු කන්නට වූ කත මුහුණ රතු කරගෙන තවදුරටත් පෝලිමේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd