මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. එම ප්‍රදේශයේ ජීවත් වූ ඔහු කාලයක් දුක් මහන්සි වී මුදල් උපයා වෑන් රථයක් මිලදී ගත්තේය .
එය පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමට යොදාගත් අතර හොඳ දක්ෂ පළපුරුදු රිය සහයකයෙක් බඳවා ගත්තේය. රියැදුරු වැඩේ කළේ අයිතිකාර ඔහුමය. දිනක් රිය සහයකයා කියා සිටියේ හෙට දිනයේ තමන්ට නිවාඩුවක් අවශ්‍ය බවයි . ඉතා හොඳට අවංකව සේවය කරන නිසා තම ගෝලයාට නිවාඩුවක් දීමට වෑන් රථයේ අයිතිකරු තීරණය කළේය.
“හරි බන් උඔට නිවාඩු දුන්නාම කවුද ගෝල වැඩේ කරන්නෙ” අයිතිකරු විමසුවේය.


“මහත්තයා බය වෙන්න එපා ඒ වැඩේ කරන්න මගේ හොඳ යහළුවෙක් ඉන්නවා මම ඌට එන්න කියන්නම්” කීකරු ගෝලයා කීවේය. ඒ අනුව පසුදා උදෑසන ගෝලයාගේ මිතුරා වෑන් රථයේ අයිතිකරුගේ නිවසට පැමිණියේය. ‘“ගුඩ් මෝනින් මහත්තයා” තාවකාලික ගෝලයා ගරු සරු ඇතිව කීවේය .
“හරි හරි මට ඔය ‘‘මෝනින් වැඩක් නැහැ වෑන් එක හරවන්න පිටි පස්ස බලපන්” වෑන් රථයේ අයිතිකරු ටිකක් තදින් කීවේය .
“හරි හරි එන්න...” තාවකාලික ගෝලයා කීවේය දඩාස් සද්දයක් සමග වෑන් රථයේ පිටුපස ගසක වැදිණි. “දෙයියෝ සාක්කි, වැදුණා නේද  වෑන් එක ...”
අයිතිකරු කෑගැසුවේය... “උඹට පිටි පස්ස බලන්න නේද...? කිව්වේ” අයිතිකරු විමසුවේය...
“ඔව් මම වෑන් එකේ පිටි පස්ස දිහා බලාගෙන තමයි හිටියේ එතකොට තමයි ගහේ වැදුණේ” තාවකාලික ගෝලයා ඇඟට පතට නොදැනී කීවේය ..
වෑන් රථයේ අයිතිකරු පොල්ලක් අතට ගත්තේය “....හිටපන් මම උඹට පිටි පස්ස පෙන්නන්න ...” තාවකාලික ගෝලයා පස්ස නොබලා දිව්වේය.

බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ