හසලක සුනිල් ඒකනායක



කාන්තාවන් පමණක් සිටින නිවාසවල වහලයට රාත්‍රී කාලයේ ඇතුළු වී හොල්මන් කරන “භූතයා” ගමේ වෙද ගෙදරින් මතුවූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
ගම්මානයේ බොහෝ ගෘහ මූලිකයෝ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු විවිධ දෛනික කුලී වැඩ සඳහා කොළඹ හෝ වෙනත් ඈත දුර ප්‍රදේශවල රැකියා සඳහා පිටත්ව යති. ඔවුන් එසේ ගිය පසු නිවාසවල බිරින්දෑවරු තම කුඩා දුවා දරුවන් සමග සිටිති.
කාන්තාවන් පමණක් වෙසෙන නිවාසවල රාත්‍රී කාලයේ හොල්මන් කරන භූතයකු නිසා එම නිවැසියන් මාස ගණනාවක සිටම පසුවනුයේ දැඩි බියකිනි. මොහු කොටු කර ගැනීමට ගැමියන් විවිධ උපක්‍රම යෙදුවත් එය අසාර්ථකය.


ගෘහ මූලිකයා කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගිය නිසා මෙදින කුඩා දරුවන් දෙදෙනකු සමග එම නිවෙසේ තනිවූයේ 34 හැවිරිදි මවකි. රාත්‍රී ආහාරපාන ගැනීමෙන් අනතුරුව එම නිවැසියන් නින්දට ගොස් ගත වුවේ පැය දෙකකි. ඇයගේ මතකයේ හැටියට ඒ වන විට රාත්‍රී 11.30 පමණය. නිවෙස ආලෝකවත් වන්නේ කුඩා විදුලි බල්බයකිනි. ඇය නින්දෙන් එක් වරම ඇහැරෙන්නේ වහලය දෙසින් ආ අඩි ශබ්දයකිනි. එසේ අවදි වූ ඇයට දැනෙන්නේ ඇහෙන්නේ කිසියම් අයකු වහලය මත ගමන් කරන අයුරුය. ඒ සමගම ඇයට මතකයට නැගුනේ ගමේ කතා වෙන අද්භූත භූතයා ගැනය. ‘‘හරි හොඳ වැඩක් කරන්නම්.” තමන්ටම කියා ගත් ඇය ‘‘ආ අයියේ මොකද ඔයා වහලයේ නැගගෙන කරන්නේ. අයියා අපේ ගෙදරට එනවා මම දැක්කා. මම අයියා අඳුරනවානේ, එන්න ඉස්සරහා දොරෙන්. දොර අරින්නම්” යැයි කියා ඇය අසල තිබු විදුලි පන්දම ගෙන එය දල්වා ආලෝකය වහලය දෙසට යොමු කරනවාත් සමගම, එතෙක් වහලයේ ඇවිදිමින් සිටි භූතයා එක්වරම දිව යාමත් සමගම දඩාස් ගා වහලයෙන් බිමට වැටෙන හඬත් ‘‘අම්මෝ මගේ කකුල” යනුවෙන් පැවසූ පිරිමි කටහඬක් ඇයට ඇසිණි. පෙර දින සිදුවූ පුවත තම හිතවතුන් කීප දෙනකුට පැවසූ පසු ඔවුන් කීවේ, එහෙනම් ඔය භූතයා වෙද ගෙදරින් හරි රෝහලෙන් හොයා ගන්න අපිට පුළුවන් වෙයි කියාය. ගැමියන්ගේ එම කීම ටක්කෙටම හරි ගියේ එදින වෙද ගෙදරට ගිය ගමේ තරුණයන්ට වෙද ගෙදර ඇඳක් මත කකුලක් කැඩී එයට ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් උපකල්පනය කළ තරුණයාය. ඔවුන් පෙර දින සිදුවීම ඔහුගෙන් විමසුවත් එයට පිළිතුරු නොදුන් රෝගියා, රෝගී තත්වය මතම ගමෙන් අතුරුදන් වූ බව ගැමියන්ට ආරංචි වූ අතර, එදිනෙන් පසු හොල්මන් කතාවට ද තිත ලැබී තිබේ..