(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
‘ජලය’ යන්නට යෙදෙන තවත් වචනයක් වන්නේ ‘අඹ’ යන්නය. ජලය ඉරි ගසා වෙන් කළ නොහැකිය. ‘අඹ යහළුවන්’ යැයි කියන්නේත් එසේ වෙන් කළ නොහැකි මිතුරන්ටය.
මධ්‍යම පළාතේ එසේ අඹ යහළුවෝ දෙදෙනෙක් සිටිති. ගම් දෙකක ජීවත් වුවද දෙදෙනා හමුවිය හැකි සෑම මොහොතකම හමුවෙති. හවසට හමුවීම වරදින්නේම නැත. කරටි කැඩෙන්නට ගසා කරට අත දමාගෙන යෑම ඔවුන්ගේ සිරිතය. වැටුණොත් ඒ දෙන්නාම එකටය.
මොවුන්ගේ මිතුදම පළාතේම ප්‍රසිද්ධය. එක් කෙනකු තනියම කොහේ හෝ ගියොත් අඳුරන අයකු හමුවුවහොත් විමසන්නේ කෝ යාළුවා කියාය. දෙදෙනා අතර කිසි දිනෙක රණ්ඩු සරුවල් වී නැත. කරටි කැඩෙන්නට බීවද කුණුහරුප දොඩන්නේද නැත. එය අපූරු යාළුකමකි.
මෑතක දිනයකදී දෙදෙනාම හවස්වරුවේ කසිප්පු පොළට ගියහ. කෙළින් සිටගැනීමට හෝ නොහැකි තරමට දෙදෙනාම බිව්වෝය.
“දැන් ඇති. යං.” එක් මිතුරෙක් කීවේය. ඒ ඔහුට නිවසට යාමේ හදිසියක් තිබූ හෙයිනි.
“තව ටිකක් ගමු.” අනෙකා කීවේය.
“බෑ බෑ මට පරක්කුයි.” අනෙකාගේ පිළිතුර එය විය.
වාදය ඇවිලී ගියේය.
එක් මිතුරෙක් අනෙක් මිතුරාට පහර දුන්නේය. පහර කෑ මිතුරා ද නිකම් සිටියේ නැත. පහර දුන් මිතුරා බිම පෙරළා ගත්තේය. ගහ ගැනීමට තරම් ශක්තියක් නොවූ හෙයින් ඔහු කළේ මිතුරාව හැපීමය. අනෙක් මිතුරාගේ අතේ කෑල්ලක් ඔහුගේ කටේය. තවත් මොහොතකින් නාසයෙන්ද කෑල්ලක් කට ඇතුළේය. බේරෙන්නට තරම් ශක්තියක් නොවූ ඔහුට සිදුවූයේ හපාකෑම ඉවසා සිටීමට පමණි.
බරපතළ තුවාල ලැබූ මිතුරා රෝහල්ගත කෙරිණි. අනෙකා පොලිස් අත්අඩංගුවට පත්විය. දෙදෙනාගේ යාළුකම හොඳින්ම දන්නා ගම්මුන්ට සිද්ධිය ආරංචි විය.
ඔවුන්ගේ කටින් පිටවූයේ ‘දෙයියෝ සාක්කි’ යන්න පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd