තම දියණියගේ විවාහක සැමියා වූ එකම බෑණා අම්බානට ගුටි කන අවස්ථාවේදී මියගිය නැන්දම්මාට පණ ඇවිදින් ඔහු බේරා ගැනීමට වෙර දැරූ අරුම පුදුම පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හේන් ගොවිතැන්වලට ප්‍රසිද්ධියක් උසුලන ගැමි ‍පෙදෙසකින් වාර්තා වෙයි.
සැමියා මිය ගිය පසු පුතුන් තිදෙනෙකු හා දියණියක ජීවත් කරවන්නට බිරිය අපා දුක් විඳපු අවස්ථා එමටය. ජීවත්වීමට කිසිදු ආදායමක් නැති වුවත් නොපසු බට උත්සාහයෙන් යුතුව කුරක්කන්, බඩ ඉරිඟු වගා කරමින් දරුවන් කෙසේ හෝ ලොකු මහත් කර හැකි ලෙසට ඔවුනට අධ්‍යාපනය  දෙන්නට මව ඇප කැපවීම් කළාය.


එලෙස අපාදුක් විඳින මවට ශක්තියක් වෙන්නට පුත්තු තිදෙනා සවියක්  වූහ. ඒ ඔවුන් කුඩා වියේදී පියා මිය යාම නිසා තනිවූ මවගේ හේන් ගොවිතැනට අත්උදව් දෙන්නට ලොකු මහත් වූ ඔවුනට ද හැකි වූ නිසාය. මවගේ හේන් ශුද්ධ කිරීමටත්, එහි වගා කිරීමටත්, වන අලි ඇතුළු  සතුන්ගෙන් සිදුවෙන උවදුරු වළක්වා ගන්නටත් ඔවුහු සහාය වූහ.
ඔය අතරේ  මවගේ බර සැහැල්ලු‍ කරන්නට බාල නැගණිය විවාහ කර දීමට පවුලේ අය පෙළ ගැසුණි. ඒ අනුව ඇය වැව් බැඳි පෙ​ෙදසේ ප්‍රසිද්ධියක් උසුලන මහවැලි ගම්මානයක තරුණයකුට විවාහ කර දුන්නේය. ඇය ගෘහනියකි. සැමියා රාජ්‍ය සේවාවේ නියැලෙන අයෙකි. මුලින් මුලින් මවගේ දුක සැප බැලූ දියණිය කාලයාගේ අවෑමෙන් මව අමතක කළාය.
ඒ සැමියා තම මව බැලීමට දුර කතර ගෙවා එහි යාමට අවසර නොදෙන නිසාය.
ඒ අතරේ තම තරුණ පුත්තුද විවාහ වූහ. ඔවුහු ලේලියන් සමග අම්මා රැක බලා ගත්හ. මව වරින් වර රෝගී වූවාය. ඉන් බොහෝ අවස්ථාවලදී ඇය රෝහල් ගත කළාය. ලේලියෝ  ඇයට පිහිට වූහ.
රෝගී මවට ලේලියෝ පණ මෙන් ආවතේව කළත් ඇය තම එකම දියණිය මතක් කරමින් හඬා වැටෙනවාය. ඒ නිසා මව මිය යන්නට මත්තෙන් එක වතාවක් හෝ තම දියණිය මවට පෙන්වන්නට පුත්තු උපායක් යෙදූහ. පුත්තු තිදෙනා ඒක රාශි වූහ.“නංගි අම්මා නැති වුණා’’ අයියෙක් පැවසීය. ඇය හඬා වැටුණාය. සැමියා ඒ ඇයි දැයි ඇසීය. අම්මාගේ මළගම කීවේය. සැමියා ගමට ඒ බව පවසා බස් රථයක නඩයක් කැටුව දුර කතර ගෙවා මළ ගෙදරට යාම සඳහා පිටත් විය.
යන ගමනේදී මළ ගෙදරට අවැසි බිස්කට්, බුලත්, පුවක්, සීනි ආදිය ද මිලදී ගත්හ. සවස් යාමයේ දී ඔවුහු මළ ගෙදරට ළඟා වූහ. බසයෙන් බැසගත් දියණිය අම්මාගේ ශෝකය දරා ගන්නට බැරිව විලාප නගමින් ගෙට දිව ගියාය. ඒ පසු පස සැමියා ඇතුළු ගමේ උදවියද පිය නැගූහ. ගත වූවේ නිමේෂයකි. ඇය දොරකඩින් ගෙට ඇතුළු වුණාය. ඒ සමගම ඇතුළු වෙන සැමියාට කොහු ඉදල්වලින් පහර පිට පහර වැදුණි. දියණිය මව නැතිව ශෝකීව හඬා වැටෙද්දී ඇයගේ සැමියා තම  ආරක්ෂාව පතා ඉන් බේරීමට සහාය ඉල්ලා විලාප දුන්නේය. එය බේරීමට ගිය අයද ගුටි පිට ගුටි වැදුණු  අතරේ කිසිවක් තේරුම් ගත නොහැකි මව ලෙඩ ඇඳේ සිට එතැනට ආවාය.
“අනේ මගේ බෑණාට ගහන්න එපා “කියමින් ඇය ඔහු බේරා ගැනීමට දරන වෑයම නිසා කෝපයෙන් පසු වූ පුත්තු ද  සන්සුන් වූහ.
ඉන්නකම් බලන්නට එන්නට බැරි අම්මාගේ මළ ගෙදරට විතරක් එන්නට පුළුවන් වන්නේ ​ෙකසේද යන්න නිසා මේ අකරතැබ්බයට දියණියගේ සැමියා මුහුණ දී ඇති බව වටහා ගත් ගමේ නඩය දියණිය එහි නැවතී සිටියදී මළ ගෙදරට දීමට ගෙනා සියල්ලද රැගෙන ඇයගේ සැමියාට හා නඩයට ආරක්ෂාව සපයමින් ආව සැනින්ම එම  බස් රථයේම නැගී තම ගම් ඉසව්ව බලා එතැනින් පලා ගියාලු‍.

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම