පෝද්දල සරත් ආනන්ද



විවාහයට දින නියමවී සිටි තරුණියක හැට හැවිරිදි විවාහක සැමියකු සමග ඇසුරක් පවත්වනවා යැයි කියමින් ඔහුගේ බිරිය විසින් කරන ලද හෙළිදරව්වක් නිසා උගුලේ වැටෙන්නට ගිය තරුණයකු ඉන් ගැලවීගිය අමුතුම තාලේ කතාවක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම තරුණිය රජයේ කාර්යාලයක රැකියාව කරන්නියකි. ඇය ඇහැට කනට පෙනෙන රූපයකටද හිමිකම් කීවාය. අහිංසක පෙනුමින් යුක්තය. කාර්යාලයේ බොහෝ දෙනා අතර ඈ ප්‍රකටව සිටියේ රහසින්වත් පව් නොකළ ඇත්තියක සේය.
මෙසේ සිටි ඇයට විසේකාර වියපත් බඹරා මුණගැසී ඇත්තේ පසුගිය කොරෝනා වසංගත සමයේය. ඔහු හෝටල්කාරයෙකි. ලොකු මහත්වූ දරුවන් දෙදෙනකුද සිටින්නෙකි. වසංගතයත් සමග කඩාපාත්වූ ‘‘ලොක් ඩවුන්”‍ සීන් එක නිසා හෝටලය තාවකාලිකව වසාදැමීමට සිදුවිය. 
වසංගත සමය ලිහිල්වීමත් සමග හෝටලය විවෘත නොකළත් කෑම සකස්කර ගැනුම්කරුවන් ළඟට ගෙන ගොස් දීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදුනි. ඒ අනුව මොහුද දුරකතන මාර්ගයෙන් වෙළඳාම කරන්නට පටන් ගත්තේය.


මෙම තරුණියද දුරකතනය හරහා මොහු සම්බන්ධ කරගෙන කෑම ගෙන්වාගෙන ඇති අතර පසුව එම සම්බන්ධය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග විහිද ගොස් ඇත. වසංගත සමයේ ඉතාම ශෘංගාර ලෙස ඇදීගිය ප්‍රේමය වසංගතය නිමාවත් සමග ලැගුම්හල් දක්වා දුරට විහිද ගියේය.
තම මනුස්සයා දුරකතනය හා කරන ගනුදෙනු බොහෝ වැඩිබව දුටු ඔහුගේ බිරිඳ රාත්‍රී කාලයේ දුරකතනය පරීක්ෂා කළේය. එහිදී සිද්ධිය මාට්ටු වී ඇති අතර දෙදෙනාගේ හමුවීම්වලදී ගන්නා ලද ඡායාරූපද ඒ අතර තිබී ඇත.
මේ කිසිත් නොදැන සිටි අර තරුණියගේ මවුපියෝ ඇයට විවාහ යෝජනාවක් ගෙනාවෝය. ඒ අනුව දිගුකලක් කොරියාවේ රැකියාව කරමින් සිටි නවීන නිවසක්ද හිමි තරුණයකු හමුවී ඇති අතර ඔහුට ඇගේද කැමැත්ත හිමිවී ඇත. මේ කතන්දර කිසිත් නොදන්නා තරුණයා දැන් ඇගේ නිවසටද යන එන අතර විවාහයටද දින නියම කරගත්තේය. විවාහයට සති දෙකකට පෙර ඔහු ඇය සමග කතරගම සංචාරයකද ගියේය.
මේ අතර ඇගේ වියපත් පෙම්වතාගේ බිරිඳටද ඔහුගේ දුරකතනය හරහා මේ විවාහය ගැන දැනගැනීමට හැකිවී ඇත. එහි තිබී ඇත්තේ ‘‘හරි ඔයා බඳින්නකෝ. ඊට පස්සෙ කරන්න ඕනදේ මං කියන්නම්”‍ කියාය.
 අර විවාහ යෝජිත තරුණයා සමග කතරගම සංචාරය කළ දිනට පසුදාම ඇය ඔහු සමග දකුණේ සංචාරක පුරයක ලැගුම් හලකට ගොස් ගන්නා ලද ඡායාරූපද එහි තිබී ඇත. එහි ඇය විවාහවීමට නියමිතව සිටින තරුණයාගේ නම හා ඡායාරූපද තිබී ඇත. ඔහු ප්‍රදේශයේම තරුණයෙකි. වහාම ක්‍රියාත්මක වූ ඇය ඔහු සම්බන්ධ කරගෙන සියලු‍ තොරතුරු හා ඡායාරූපද ඔහුට ලබාදීමට කටයුතු කළේය. 
වහා ක්‍රියාත්මක වන තරුණයා එම ඡායාරූප හා විස්තරය ඇගේ මවුපියන්ට පවසා ”‍විවාහ”‍ උගුලෙන් බේරීමට සමත් විය. තමා මේ උගුලෙන් ගැලවූ අර කාන්තාවට ඔහු තවමත් පිං දෙනවාලු‍.
මේ වනවිට හෝටලයද වැසීගොස් ඇති අතර එහි හිමිකරුගේ බිරිඳ විදෙස් රටක වෙසෙන පුතකු ළඟට ගොස් ඇති බවද අදාළ තරුණිය නම් සිරිත් පරිදි බොහෝම අහිංසක ලීලාවෙන් තවමත් රැකියාවට යමින් සිටින බවද වාර්තා වේ.