කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ජංගම දුරකතනයේ වට්ස්ඇප් පණිවිඩයට අනුව සැඟවූ කෑල්ල සොයා විදුලි රැහැන් කණුවේ පාමුල අතපත ගෑ මත්කුඩු ලෝලියකුට කවදාවත්ම අමතක නොවන පාඩමක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
කොල්ලො දෙන්නෙකි. වෙලාව රෑ හතට පමණය.
සිය ජංගම දුරකතනයට ලැබුණු වට්ස්ඇප් පණිවිඩය අනුව ඔවුහු පාරේ විදුලි රැහැන් කණුවක් සොයමින් ආහ. සෙවූ විදුලි රැහැන් කණුව ඔවුන් දෙදෙනාට හමුවිය. ඒ විදුලි රැහැන් කණුව යට ඔවුහු යතුරුපැදිය නතර කළහ. එයින් එකෙක් බැස්සේය. අනෙකා යතුරුපැදිය උඩය. ඒ වන විටත් යතුරුපැදිය ක්‍රියාත්මකය.
ඔවුන් සෙවූ විදුලි රැහැන් කණුවේ විදුලි පහනක් දක්නට නොලැබිණ. එහි විදුලි පහන අක්‍රියව පැවතීම නිසා හෝ කවුරුන් හරි විසින් ගලක් ගසා බිඳ දැමීම නිසා එම විදුලි රැහැන් කණුව අවට පැතිරියේ අඳුරකි. එහි අවට තද අඳුරක් නොවූවේ පාර දෙපස තිබූ නිවෙස්වල විදුලි පහන් ආලෝකය පාරට වැටී තිබූ නිසාවෙනි.
යතුරුපැදියෙන් බැස්ස කොල්ලා එම විදුලි රැහැන් ඇද තිබූ කණුව දෙසට පැමිණියේ පාර දෙපස හොඳ සෝදිසියකට ලක් කිරීමෙන් පසුවය. අහල පහළ කවුරුත් නොවීය. කොල්ලා විදුලි කණුව පාමුලට පාත් වුණේය. වට්ස්ඇප් පණිවිඩයෙන් ආ තොරතුර අනුව වැලි තට්ටුවකින් වසා ඇති කෑල්ල ඔහු සෙව්වේ අඳුරේමය. එය අවුස්සන විට පොඩි ගඳක් පැමිණියත් ඔහු එය ගණන් නොගත්තේ කුඩුසික් එක ඊටත් වඩා බලවත් වූ බැවිනි.
කුඩු සික් එක වැදුණු අයට එය සමනය වන තෙක්ම ඉස්පහසුවක් නොවන්නේය. ඒ අනුව මේ කොල්ලා දෙඅතින්ම වැලි ගොඩ හෑරුවේය. ආ ගඳ නොසලකා හෑරුවේය. ඔහුට තමන් සෙවූ කෑල්ල හමු නොවූවත් ඒ වනවිට දෙඅතේම යම් ගඳ ගසන දෙයක් තැවරී හමාරය. කෑල්ලද කියූ පරිදි එතන නොවීය. ජංගම දුරකතනයට ආ පණිවිඩය වැරදිය. දෙඅත් ගඳ ගසමින් ඔහු යතුරුපැදිකරු ළඟට ගියේය. ඔහු ළඟට එනවිට යතුරුපැදිකරුද නාසය හකුළා ගත්තේය. යකෝ බළල් අසූචි ගඳක් උඹ ළඟින් එනවානේ. කෝ කෑල්ල හම්බවුණා දැයි ඔහු මිතුරාගෙන් ඇසුවේය. ඔව් හම්බවුණා. කෑල්ල නෙමෙයි පූස් බෙටි කෑලි තමයි හම්බවුණේ කියමින් ඔහු බළල් බෙටි තැවරුණු දෙඅත ඔහු වෙත ළං කළේය. කරන්න කිසි දෙයක් නැත. ඔවුහු දෙදෙනා බළල් බෙටි ගඳ ඉවසාගෙන යතුරුපැදියේ යන්න ගියහ. මේ සිද්ධිය නිවෙසක කළුවරේ රැඳී ඒ දෙස බලා සිටි අයකු අපට කීවේ නම නිරාවරණය නොකරන ලෙස ඉල්ලමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd