මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම



රූමත් කතකගේ හැඩ බලන්න ගිය තරුණයින් දෙදෙනකුගෙන් එකෙකුට නොන්ඩි ගසන්නට වූ පුවතක් යාපහුව අඩවියෙන් වාර්තා වෙයි.
තරුණයෝ දෙදෙනා යතුරු පැදියක නැගී ගමනක් යාමට පිටත් වූහ. සුපුරුදු මාවතක් මැදින් යන විටදී දන්නා හඳුනන නිවසක සාලය ඉදිරිපිට නාඳුනන කාන්තාවක් වාඩි වී පෝන් එක බලමින් සිටියාය.
ඇය කොට සායක් ඇඳගෙන වාඩි වී සිටියාය. නිවස පාර අසලමය. එතැනින් ගිය යතුරු පැදියේ පිටුපස සිටි එකෙකුගේ නෙත ඒ දෙසට ගැටුණි. 
“මචං, අර ගෙදර කෑල්ලක් ඉඳගෙන හිටියා මාරයි බං. පට්ට ලස්සනයි”‍ හෙතෙම කීවේය.
ඒ වනවිටත් එතැන් සිට යතුරු පැදිය මීටර් සියයක පමණ දුරක් ඉදිරියට ඇදී ගොස්ය.
එය ඇසුණු යතුරු පැදිකරු ඒ සැනින් ආපසු හැර වූවේය.


රූමත් කත පෙන්වන්නට පිටුපස අසුනේ අය වෙර දරයි.
“ආං, බලපන් බං, ආං ආං...” ඔහු අත දිගුකර පෙන්වන්නේය. යතුරු පැදිකරුද ඇස්වලින් නොව කටත් ඇරගෙනම ඒ දෙස බලයි.
ගත වූවේ නිමේෂයකි. යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කානුවට පෙරලු‍ණේය. ඒ පෙරළෙන ශබ්දයට නාඳුනන කත ගෙට රිංගුවාය. ගෙයි සිටි තවත් පිරිසක් එතැනට දිව ආහ.
පෙරළුණු යතුරු පැදිය කානුවෙන් ගොඩට ගත්තේය. යතුරු පැදිකරුගේ කකුලක් උලු‍ක් වෙලාය.
ඒ මදිවට ඔහුගේ යතුරු පැදියේ සිග්නල් ලයිට් එකක් කැඩිලාය. එය හදන්නට මුදලක් වැය කළ යුතුව ඇත.
“තෝ කියපු දේ බලන්න ගිහින් බලපිය මට නොන්ඩි ගහන්න වුණා. බයික් එක හදන්නත් මුදලක් කෙළවෙනවා”‍ හෙතෙම කීවේය.
“ඉතිං උඹටත් ඒක බලනකම් මාර ගායක් නේ තිබ්බේ”‍ අනෙකාද කීවේය.
දෙදෙනාගේ ඒ සංවාදය දැන් ගමත් දන්නවාලු‍. මේ නිසා “කෙල්ලෙකුගේ හැඩ බලන්නට ගිහින් කොල්ලා නොන්ඩි ගහනවලු‍”‍ කියා දැන් එකෙකුට නමකුත් පට බැදිලාලු‍.