(සමන් කුමාර)
තමන්ගේ මුව ආවරණය ඉනේ එල්ලාගෙන අනුන්ගේ මුව ආවරණයක් දමාගෙන සිදු වූ අකරතැබ්බයක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ. 


ඇය දකුණු පළාතේ රාජ්‍ය ආයතනයක විධායක නිලධාරිනියකි. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඉහළින්ම පිළිපදින්නියකි.


දිවා ආහාරය නිවෙසින් රැගෙන එන ඇය, කාර්යාලයේදී කෑම ගන්නේ ද කෑම කාමරයේ කිසිවකුත් නැති වෙලාවක් බලලාය.
එදින ඇය දිවා ආහාරය ගැනීමට පැමිණෙද්දී එම ආයතනයේම රියැදුරෙක් ආහාර ගනිමින් සිටියේය.


ඔහු ගිය පසු ඇය ආහාර ගෙන මුව ආවරණය ද පැළඳගෙන යෑමට සැරැසෙද්දී කලින් ආහාර ගත් රියැදුරා යළි කෑම කාමරයට පැමිණියේය.


“අයියෝ මැඩම් ඔය දාගෙන ඉන්නේ මම අමතක වෙලා දාලා ගිය මගේ මාස් එකනේ.” ඔහු පැවැසුවේය.


“පිස්සුද හලෝ අනුන්ගේ ජරාවල් එහෙමත් දානවා ද?” ඇය ඔහුගෙන් ප්‍රශ්න කළේ තරමක කෝපයෙනි.


“නෑ නෑ මැඩම්, ඔය මගේ එක තමයි. මැඩම්ගේ එක ඔය ඉනේ එල්ලගෙන ඉන්නේ” ඔහු ඇයට අත දිගු කර පෙන්වීය.


ඇයට දෙවියන් සිහි විය. කිහිප වරක් සබන් ගා මුව සෝදා පසුව විෂබීජ නාශක දියරවලිනුත් මුව සෝදාගෙන වරුවක නිවාඩුවක් දමා ඇය ගෙදර ගියේ සිදු වූ ඇබැද්දිය හතර දිග්බාගයටම ආරංචි වේදැයි සිතමිනි.