කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය 



උත්සව අවස්ථාවකට නැතිවම බැරි කෙසෙල් නිසා ගම්පළාතේ ‘‘කෑවද කෝලිකුට්ටු”‍ යනුවෙන් උසුළු විසුළු‍වලට ලක්වීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් පසුගියදා අසන්නට ලැබුණේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකිනි.
එය මෙසේය. 
 අඹුසැමි යුවළකගේ කනිෂ්ඨ දරුවා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබීම හේතු කොටගෙන ගමේ හිතවත් නෑදෑ පිරිසට තේ පැන් සංග්‍රහයක් එම අඹුසැමි යුවළ විසින් සූදානම් කොට තිබුණේ පසුගිය සතියේ දිනකය. 
මේ සඳහා අවශ්‍ය ලට්ට ලොට්ට රැගෙන ඒමට බිරිය සැමියාට පැවරුවාය. විශේෂයෙන්ම සැමියා දැනුවත් කළේ බෙහෙත් වර්ග නොගසන ලද ‘‘කෝලිකුට්ටු”‍ කෙසෙල් ඇවරි දෙකක් රැගෙන ඒම අනිවාර්ය කරමිනි.
තේ පැන් සංග්‍රහයට පෙරදින අඳුර වැටීගෙන එන වේලාවේ ගමේ කඩයකට ගොඩවැදුණු මෙම තැනැත්තා කෙසෙල් කැන් අතගාමින් පරීක්ෂා කරන්නට වූයේ හෙට දින පැවැත්වෙන සාදයට හොඳ කෝලිකුට්ටු කෙසෙල් ඇවරි දෙකක් ගැනීමේ බලාපොරොත්තුවෙනි.


මේ අල්ල පනල්ලේම එතැනට පාත් වුණේ එම ගමේම සිටින අනුන්ට ‘‘අංචි”‍ අදින ගිනිගෙඩි දීමට රුසියකු වූ චරිතයකි. 
ඔහු කෙසෙල් තෝරන අප කතා නායකයා දෙස විමසිල්ලෙන් බලා සිට මුදලාලිට නොදැනෙන අයුරින් උගුර පාදා හිසින් සංඥාවක් කළේ ඔය කෙසෙල් ගැනීම නවත්වා වහාම ඔහු ළඟට එන ලෙසටය. 
‘‘අයියේ මෝඩයෙක් වගේ ඔය කෙසෙල් ගන්න එපා. ඕවාට බෙහෙත් නාවලා තියෙන්නේ. හෙට උත්සවයට නේද. අන්න බොලාගෙ නෝනට මම හොඳ ඉදුණු කෝලිකුට්ටු ලොකු ඇවරි දෙකක්ම ගෙනිහිල්ලා දුන්නා. මට සත පහක්වත් ඕනේ නෑ. එයා දෙන්න හැදුවා. මම එපා කිව්වා. ඕවා ගන්න එපා, ඕව ගන්න එපා”‍යනුවෙන් රහසින් ඔහුට පැවසීය. 
මේ තැනැත්තා එම මිතුරාට මුව නොසෑහෙන්න ස්තූති කොට තවත් සුළු සුළු වැඩවල යෙදී රාත්‍රියේ නිවසට ගියේය. 
අඹුසැමි දෙපළ පාන්දරම අවදි වී සාදයට අවශ්‍ය දේවල් ලක ලෑස්ති කිරීමට අදිටන් කරගෙන නින්දට වැටුණාහ.
පසුවදා දෙදෙනා සාදයට සූදානම් වී ජයටම වැඩ කරගෙන  ගියහ. කාලය වේගයෙන් ඉගිලී ගියේය. තේ මේසයට ආරාධිතයෝ පැමිණෙමින් සිටියහ. ගෙහිමි කාන්තාව තේ මේසය සකසන අතරතුර ‘‘මේ ඒයි කෝ ඔහේ ගෙනාපු කෝලිකුට්ටු ඇවරි දෙක ඉක්මනට මේසෙට ගේන්නකෝ”‍ යැයි පැවසුවාය. ”‍ඇයි ඔහේට අර මලයා ගෙනැල්ලා දුන්නා කියලා මට කිව්වේ. ඒක කෝ”‍
මල විජ්ජුම්බරයයි කිව්වා සේ අංචි අදින්නාගේ ගිනි ගෙඩිය පත්තු වී තේ මේසය හොඳට ඇවිළී ගියේය. සාදය අන්තිමටම සවුත්තු වෙලා ආරාධිතයෝ එහෙන් මෙහෙන් විසිර ගියාලු‍. 
දැන් ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ඔහු දකින විට ‘‘මාමේ කෑවද කෝලිකුට්ටු”‍ යනුවෙන් අසනවාලු‍.