IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුරුම්බා පිහිටෙන් ඩෝප් සීන් එකෙන් බේරෙයි

මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණවී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිඳව ඇන්ඳ වූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.
ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන තිස් හැවිරිදි දෙදරු පියෙකි. විවාහයට පෙර මත් වතුර භාවිතා කළත් විවාහයෙන් පසු මත් වතුරට තිත තැබූවෙකි. මත් වතුරට තිත තබා මේ වන විට වසර පහක පමණ කාලයක් ගත වී තිබේ. මෙදින නිවාඩු දිනයක් හෙයින් නගරයට ගොස් පෙරළා නිවස කරා යතුරුපැදියෙන් එන අතරේ ඔහුට අතර මගදී හමුවූයේ කොළඹ ප්‍රදේශයේ රැකියාව කර නිවාඩුවට නිවසට පැමිණ සිටි සම වයසේ මිතුරෙකි. 


එම මිතුරා යෝජනා කළේ ගොඩ කාලෙකින් හමු නොවුන නිසා අපේ ගෙදරට ගොඩවෙල තේ එකක් බීලා ටිකක් කතා කර කර ඉඳලා යමුයි කියාය. එම යෝජනාවට කැමති වූ ඔහු මිතුරා සමඟ එම අයගේ නිවස බලා ගියේ සවස 5ට පමණය. නිවසට ගොස් තේ එකක් පානය කර කතා බහේ නිරතව සිටින විට මිතුරාගේ මිතුරෙකු පැමිණියේ යමක් රැගෙනය. එය මේසේ මත තැබූ විට ඔහු පැවැසුවේ “අනේ මචං මම මේකට තිත තබලා ගොඩක් කල්නේ. මට නම් මේවා එපා” කියාය. “කට ගැස්මට හොඳ දඬ මසකුත් තියෙනවා ඔන්න ඔහේ චුට්ටක් ගනිමු.” කියා එම මිතුරන් දෙදෙනාම පෙරැත්තය කළත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
යහළුවන් දෙදෙනා ගමේ බඩු තොලගාමින් සිටින විට එම මේසයට ආ කටගැස්ම අනුභව කරන්නට ඔහුටද ආරාධනා කළෙන් එයට එකඟ විය. ඉතා රසවත් වූ කටගැස්ම නිසාත් මිතුරා වීදුරුවට වක්කර අතට දුන් මත් වතුර වීදුරුවද ටිකෙන් ටික හිස් වුණේ ඔහුටත් නොදැනුවත්වය. 
ගෙවී ගියේ පැය තුනක පමණ කාලයකි. නිවසින් ලැබුණු ආහාරයද ගෙන ඔහු සිය යතුරුපැදියෙන් නිවස බලා ගමන් කළේ ඉතා අපහසුවෙනි. යතුරුපැදිය නිවසේ මිදුලේ නතර වෙනවාත් සමඟම ඔහුගේ මුවින් පිටවූයේ මහත් හඬක් නගමින් ඔක්කාරයකි.  මේ හඬ ඇසී එම ස්ථානයට දිව ආ මවත් බිරිඳත් මේ මොකද අසනීපයක් වත් දැයි විමසා ඔහු අසලට ළංවෙනවාත් සමඟම ඔහුගේ ළඟින් ආ දුර්ගන්ධය ඔක්කාරයට හේතුව ඔවුන්ට තේරුම් ගැනීමට හැකි විය.
එම දුර්ගන්ධයත් සමඟ මවගේත් බිරිඳගේත් මුවින් පිටවූයේ වෙනදා පිට නොවූ වදන් වැලකි. ඔක්කාර හඬ ඇසී පැමිණි අසල්වාසීන් දෙදෙනෙකු ඔහුව නිවස තුළට රැගෙන ගොස් ඇඳුම් උනා දෙහි යුෂ ශරීරයේ ගල්වා යාමට තරම් කාරුණික වී තිබිණි.
පසු දින උදේ මුළුතැන්ගෙයට ගිය විට මවගෙන් සහ  බිරිඳගෙන් එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයකි. ඒ නැවතත් මත් වතුරට හුරු වූ බවත් පෙරදින සවස පැමිණීම ඉතා අශෝබන බවත් කියමිනි. තොර තෝන්චියක් නොමැතිව දිගටම පැවති දෝෂාරෝපණය නිසා ඔහු වහා හැඳ පැලඳගෙන ආහාරයක් නෙගෙනම නිවසින් පිටවූයේ සේවයට යෑම සඳහාය. 
සේවයට පැමිණියත් ඔහුට පෙර මෙන් සේවය කිරීමට නොහැකි විය. ඒ පෙරදින සිදුවූ දේත් මවගේ සහ බිරිඳගේ නොමනාපයත් ඔහු වටා බඹරයක් මෙන් කරකැවෙමින් තිබෙන හෙයිනි. ඉතා අපහසුවෙන් සවස 4.30 පමණ වන තුරු සේවය කර කෙලින්ම ගියේ මිතුරාගේ නිවස කරාය. එහි ගිය ඔහු මිතුරාට සිදුවූ දේ පවසා මෙයට උපදෙසක් පැතීය.
“අයියෝ ඕවා සුළුදේවල්නේ මහත්තයෝ. දෙන්නකෝ අම්මාගේ දුරකතන අංකය.” යැයි කියා මවගේ ජංගම දුරකතන අංකය ලබා ගත් මිතුරා “නැන්දේ පණිවිඩයක් කියන්නයි කතා කළේ. මම අහවලා. ඊයේ හරි වැඩක් වුණානේ. මල්ලියි මමයි අහවලාගේ ගෙදරට ගියා පොඩි වැඩකට. එහේ ගියාට පස්සේ අපි දෙන්නට මිනිහා වත්තේ තිබුණු කුරුම්බා ගහෙන් ගෙඩි දෙකක් කඩාගෙන  ගෙට අරගෙන ගිහිල්ලා කුරුම්බා වතුර වීදුරු දෙකකට දාලා ගෙනත් දුන්නා. අපිත් බිව්වා. හැබැයි බොනකොට ටිකක් අමුතු රසයක් නමු ආවා. අපි ඒක ගණන් ගත්තේ නැහැ”. යැයි තවත් මොනවා දෝ පවසා තිබේ. 
ඔහු නිවසට පැමිණියේ වෙනදා මෙන් සවස 6ට පමණය. නිවසට ගොඩවීමටත් පෙර මව ඔහු වෙත ගොස් අහවලා මට කතා කළා යැයි කියමින් කතාව සැකවින් පවසා ආයේ ඔය ගෙවල්වල යනවා නෙවෙයි යැයි අවවාදයක් ද කර පුතා නිවස තුළට කැන්දාගෙන ගොස් බිරිඳ සහ මව පෙරමෙන් කතා බහ කරන්නටත් ආහාර පාන දෙන්නටත් කටයුතු කළහ.  යහළුවාගේ තැනට සුදුසු නුවණ නිසා තමන් බේරුණු බව සිතමින් එදින නින්දට ගොස් පෙරලා පසු දින සේවයට ගියත් සේවා ආයතනයට මෙය රහසක් නොවුයේ මිතුරා එම ආයතනයේ තවත් මිතුරෙකුට මේ පුවත පවසා තිබුණු හෙයිනි.

 

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

කුරුම්බා පිහිටෙන් ඩෝප් සීන් එකෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site