(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )
තම පුතාට කොරෝනා වෛරසය ආසාදනය වුවත්, පුතා එය සිංහලෙන් ප්‍රකාශ නොකිරීම හේතුවෙන්, අකුරු නොදත් මව අලි ඇබැද්දියක පැටලීමේ  පුවතක්  කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය:


‘‘මෙම මව අකුරු නොදත්  වයස අවුරුදු 70 ක පමණ කාන්තාවකි.  ඇය  කටකාර  සැර පරුෂ මෙන්ම කේන්ති යන තැනැත්තියකි. පෞද්ගලික  ආයතනයක රැකියාව කළ ඇගේ පුත්‍රයාට කොරෝනා වැළඳුනද, ඇය අසල්වැසියන්ට කීවේ තම පුතාට ⁣කොරෝනා නොව ‘පොසිටිව් රෝගය’ හැදුන බවයි.


කොරෝනා රෝග  තත්වය සුවවීමෙන් පසුව පුත්‍රයා        නි​ෙවසට පැමිණ සිටි අතර  මව මෙදින මුඛ ආවරණද නිසි ලෙස පැළඳ, අසල්වැසි කඩයකට ගියේ නි​ෙවසට අවශ්‍ය බඩු කීපයක්  රැගෙන ඒම සඳහාය.


වෙළෙඳසලට ගිය මව රුපියල් 500/= ක් මුදලාලිට දිගු කරමින්  ‘‘මුදලාලි මට සීනි කිලෝ එකකුයි, පරිප්පු  පන්සීයකුයි, හාල්මැස්සන් දෙසිය පනහකුයි දෙන්න.”‍ යැයි කීවාය.


කොරෝනාවට දැඩි බියෙන් පසු වූ මුදලාලි මෙම මව දුන් රුපියල් පන්සීයේ නෝට්ටුවද අතට නොගෙනම මෙසේ කියා ඇත. ‘‘අක්කලාගේ ළමයටත් කොරෝනා හැදුනලු‍ නේද..? අප්පේ බෝඩිමේ ම ඉඳලා සනීප වෙලා ගමට ආපු එක නම් ලොකු දෙයක්”‍
මෙය ඇසුණ කාන්තාවට යකා නැග ඇත. බඩු ගැනීම පසෙක තබා  මුදලාලිට බැන වදින්නට පටන් ගත්තාය. ‘‘මුදලාලිට පිස්සුද... අපේ  පුතාට හැදුනේ කෙරෝනා කියලා  ගමේ ප්‍රචාරය කරන්න එපා. පුතාට හැදුනේ පොසිටිව්  ලෙඩේ’’. අද උදෙත් මට ඇහුණා යාළුවන්ට  කෝල් දෙනවා පොසිටිව් වුණා කිය කිය”‍


මෙම මව තව දුරටත් කඩ මුදලාලිට අවලාද නගමින් තම පුත්‍රයාගේ දියුණුවට ඉරිසියා කරමින් පද හදන බව කියමින් කෝපයෙන් බැන වැදී ඇත.


තම බඩු විකුණා ගැනීමට  කෑදර වූ මුදලාලි, මවගේ බැන වැදීම නෑසුනා සේ  ඉල්ලූ බඩු ටිකද කිරා ඇයට දී ඇත. එයින් තව දුරටත් කෝප වූ මව  ‘‘මේ ඉරිසියාකාරයන්ගේ බඩු අපිට ඕන් නෑ”‍ කියමින් මුදලාලිගේ බඩුද විසිකර දමා යන්නට ගියාලු.


 ඇය කෝප වූ කාරණය නොදත්, නූගත්  කඩ මුදලාලිද ‘‘මගෙ කට නිසා අපරාදේ බඩුටික විකුණා ගන්නත් බැරි වුණා නේ”‍ කියමින් හිස අත තබා ගත්තාලු.