පෝද්දල සරත් ආනන්ද ගමගේ



පුරවැසියන්ගේ පරම යුතුකම එරට දූ දරුවන්ට සියලු‍ සම්පත් ලබාදී ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම යැයි කියමින් තමා ඒ වෙනුවෙන් සියලු‍ ධනය, කාලය, ශ්‍රමය වැය කරන උතුම් කාන්තාවක බව පෙන්වීමට තමා සහභාගී වන උත්සවවල ඡායාරූපය මුහුණු පොතේ පළකරන එක්තරා කාන්තාවක නිසා දරුවන්ගේ වැඩක් කඩාකප්පල් වෙන්නට ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම දානපතිනිය පරම්පරා වෙන්ම පෝසත් පවුලකට අයත් තැනැත්තියකැයි පැවසෙන අතර රාජ්‍ය නොවන සංවිධානයකද නියෝජිතවරියකි. පසු ගිය පළාත් පාලන මැතිවරණයේදීද දේශපාලන පක්ෂ ලැයිස්තුවක් නියෝජනය කළාය. ජයග්‍රහණය නොලැබුවද කාන්තා නියෝජනය නම් වූ ”‍කැටගරියට”‍ අනුව සභික ධුරයකටද හිමිකම් කියන්නීය.
පසුගිය දිනක මෙම කාන්තාවට දුරකතන ඇමතුමක් ලබාගනිමින් ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවියක ඉල්ලා ඇත්තේ විශ්වවිද්‍යාලය මගින් රත්මලාන දෘශ්‍යාබාධිත පාසලේ සිදුකිරීමට බලාපොරොත්තු වන සමාජ සත්කාර සේවාවක් සඳහා ඇයගේද සහය ලබාදෙන ලෙසයි.


එහිදී වැඩිදුරටත් ඇය කියා ඇත්තේ මේ සඳහා වැඩි ප්‍රජාවක් සහභාගී කරවාගැනීම ව්‍යාපෘතියේ අරමුණක් බැවින් රුපියල් 16000 ක මුදල සඳහා 8 දෙනකු සහභාගි කරගන්නා බවය. එවිට මෙම දානපතිනිය, සිදුකිරීමට බලාපොරොත්තු වන සේවාව මහත්සේ අගයකොට කතාකරමින් ඒ සඳහා තවත් පිරිස් අනවශ්‍ය බව පවසමින් සම්පූර්ණ මුදල ගෙවීමට ඇයට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීය.
එවිට සිසුවිය පැවසුවේ එය ව්‍යාපෘතියේ අරමුණට පටහැනි බැවින් රුපියල් 2000 මුදල ප්‍රමාණවත් බවයි. ව්‍යාපෘතියේ සියලු‍ විස්තර වට්ස්ඇප් මාර්ගයෙන් ලබාගෙන ඇති අදාළ කාන්තාව සිසුවියගේ ගිණුම් අංකය ලබාගෙන ඇත්තේ පසුදාම මුදල බැංකුගත කරන බව පවසමිනි.
එම සිසුවිය ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කරගත් අනෙක් හත් දෙනාම පොරොන්දු වූ පරිදි ඇයට මුදල් ලබා දුන්නේය. එහෙත් මෙම දානපති කාන්තාව මුදල් ලබානොදුන්නා පමණක් නොව දුරකතනයටද පිළිතුරු නොදුන්නාය. ඇය පසුව එම මුදල තම මවුපියන්ගෙන් ලබාගෙන ඇය ව්‍යාපෘතියේ වැඩ අවසන් කර ගත්තාය.
දානපති වෙස්ගත් මෙම කාන්තාවගේ මේ අයහපත් ක්‍රියාව පිළිබඳව සියලු‍ විස්තර විශ්වවිද්‍යාල සිසුවිය විසින් ප්‍රදේශය නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවකට එක් කිරීම නිසා මේ සිදුවීම දැන් රට පුරාම පැතිර ගොස් ඇත. 
ඉන්පසු අදාළ කාන්තාවද ප්‍රදේශයේ දකින්නට නැති අතර ඇගේ ෆේස්බුක් ගිණුම ද අන්තර්ජාලය දකින්නට නැතැයි තතු දත්තෝ පවසති.