රෑ බූරුවා පොළේ දී මිතුරාට සිය යතුරු පැදිය හදිසි ගමනක් යන්න දී පසුදා උදේ ආපනශාලාවක පිඟන් කෝප්ප හෝදන්න සිදු වූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් ඇසේ.
මිනිහා බූරුවා කප්පිත්තකු නොවූවත් ඉදහිට කොලේ කපයි. වාසි වගේම අවාසි වුණු අවස්ථා ද නැත්තේ නොවේ. සමහර දිනවලට සෘජුවම කොලේ නොකැපුවත් සූදු පොළේ උඩ ඉඳගෙන ඔට්ටු අල්ලයි. මේ පන්දාහ දිනුම්, මේ දහදාහ දිනුම් යයි කියමින් ඔහු සූදු පොළේ උඩ සිටම ඔට්ටු අල්ලයි. 
ඔහු මේ කියන දා කිසිවක්ම නොකළේය. ඒ ඔහු අතේ යහමින් මුදල් හදල් නොතිබුණු නිසාය. එනමුත් එදා රෑ පැවති බූරුවා සූදු පොළට ගියේ නිකමට මෙනි. කම්මැලිකමටය. එදා ඔහු එම බූරුවා සූදු පොළට ගියේ සිය යතුරු පැදියෙනි.


ඔහුට එහි ගොස් වැඩි වෙලාවක් ගත වෙන්නට මත්තෙන් එහි සිටි මිතුරකු හදිසි ගමනක් යෑමට අවශ්‍ය බව පවසමින් ඔහුගේ යතුරු පැදිය ඉල්ලු‍වේය. ඉල්ලූ සුනංගුවෙන්ම ඔහු සිය යතුරු පැදිය දුන්නේ තිබු මිත්‍රත්වය නිසාමය. මිතුරා ටික වෙලාවකින් ඔහුගේ යතුරු පැදියෙන් ආපසු පැමිණියේය. ඒ සමගම පාහේ ඔහු සිය යතුරු පැදියෙන් නිවස බලා ගියේය.
අලු‍යම ඔහු නගර මධ්‍යයේ පිහිටි ක්‍රීඩාංගණයට යතුරු පැදියෙන්  පැමිණියේ ශරීර සුවතාව සඳහාය. ශරීර සුවතාව පැයක් දෙකක් සිදු කොට ඔහු නගර මධ්‍යයේ ආපන ශාලාවට ගියේ මොනවා හෝ දෙයක් කුසට දා ගැනීමටය. ඔහු එහි තියෙන අරවා මේවා සියල්ලම ඇණවුම් කොට කොටා බෑවේය. එහි බිල රුපියල් දහසකට ආසන්නය
කෑම කෑ ඔහු එම ආපනශාලාවේ ඉදිරිපිට නතර කර තිබූ යතුරු පැදිය වෙත ගියේ එහි කැබින් එකේ පෙරදා දමා තිබූ රුපියල් පන්දහසේ නෝට්ටුව ගෙන කෑම බිල ගෙවීමටය.
ඔහුට දෙවියන් බුදුන් සිහි වූයේ එවිටය. එහි තිබූ රුපියල් පන්දහසේ නෝට්ටුව නොවීය. කරන්න කියන්න කිසිත් නැතිවිය. මුදලක් ඉල්ලා ගැනීමට ද කෙනකු නොමැතිය. ශරීර සුවතාවය සඳහා පැමිණෙන්නේ ජංගම දුරකතනය නිවසේ තබා වීම බලවත් ප්‍රශ්නයක් වීය. අන්තිමේ දී කෑමේ බිලේ හිලව්ව පියවීම සඳහා ඔහුට එම ආපනශාලාවේ පිඟන් සෝදන්නට වූ කතාවක් දැන් ගමපුරාම ප්‍රසිද්ධය.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත