කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



ගමේ පිරිසක් සමග එක්දින වන්දනා චාරිකාවක නිරතව රාත්‍රී ආපසු නිවසට පැමිණි සිය බිරියට උදෑසන නිවසින් පිටත්වනවිට දැනුම්දුන් පරිදි “චිකන් කෑම එකක්” නොගෙනාවයි උරණ වූ බේබදු සැමියකු ඇති කළ කලබගෑනියක් පිළිබඳ පුවතක් වයඹට මායින් වූ රජරට ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
වාර්තා වන අන්දමට මැදිවිය ඉක්මවූ අඹුසැමි යුවළක් වූ මොවුහු වෘත්තියෙන් කුලී කම්කරුවෝ වෙති. දරුවන් තිදෙනකුගේ මව්පියන් වන ඔවුහු දෙදෙනා මේ වනවිට එම දරුවන්ගෙන් නිදහස්ව මහගෙදර වාසය කරති.
සැමියා දීර්ඝ කාලයක සිට දැඩි මත්ලෝලියකු වන අතර හොයා ගන්නා කීයක් මුදලක් ඒ සඳහාම වැයකරන අතර නිවසේ වියපැහැදම් පිරිමහ ගන්නේ බිරිය ඉඳහිට හෝ කුලී වැඩක්කර උපයා ගන්නා මුදලකිනි. සැමියාගේ බේබදුකම නැවැත්වීමට කෙසේ වෙතත් පාලනය කිරීමට හෝ ඇය නොගත් උත්සාහයක් නැති අතර, එම උත්සහයන් ව්‍යර්ථ වූ තැන, දැන් ඔහුට ඕනෑ දෙයක් කරගන්න ඉඩහැර ඇය ඇගේ පාඩුවේ එම නිවසේම ජීවත්වෙයි.
ගමේ පිරිසක් සංවිධානය කළ එක්දින වන්දනා ගමනකට ඇයද සැදැහැ සිතින් මෙසේ සහභාගිවී ඇත. එදින උදෑසන මෙම වන්දනා ගමන පිටත්වන අවස්ථාවේදී ඒ වනවිටත් වෙරි මතින් සිටි ඇගේ සැමියා ඇයට දැනුම්දීමක් කර ඇත. ඒ ඇය ආපසු එන විට කුකුළුමස් සහිත රෑ කෑම එකක් රැගෙන එන ලෙසටය. ඊට කිසිවක් නොකිවූ ඇය නඩයත් සමග වන්දනා ගමනේ නිරතව ඇත. 


එසේ වුවද වන්දනා ගමනක් ගොස් එනවිට කුකුළුමස් රැගෙන යාම පව් සිද්ධවෙන වැඩක් සේ මෙන්ම එය අන් අය දැනගතහොත් විසුමක් නොවන සිද්ධියක්ද වනු ඇතැයිද යන කරුණු සිත්හි තබාගෙන ඇය කෝකටත් කියා කුකුළු මස් වෙනුවට සැමියාට මාලු‍ කෑම සහිත බත් පාර්සලයක් රැගෙන ගොස් දීමේදී මෙම කාලගෝට්ටිය ඇතිවීය.
මෙහිදී ඒ වනවිටත් වෙරි මතින් සිටි සිය සැමියාට කරුණු කාරණා පැහැදිලික රදීමෙන් පලක් නැති බව හොඳහැටි අත්දැකීමෙන් දන්නා ඇය ගෙතුළට නොගොස්ම හිමින් සැරේ වන්දනා නඩයේ සිටි අසල්වැසි කාන්තාවකගේ නිවසට ගොස් එදින රැය පහන්කර ඇති බවද එහිදී අනාවරණය විය.