හිඟු‍රාණේ නවරත්න සමරතුංග 



ලොකු දේපළක් සහිත මනාලියක් විවාහ කරගන්නට ගිය මසුරු මනාලයකු අඩුම කපු ගාස්තුවකට වැඩ කරන්නට ගොස් මනාලියත් දෑවැද්දත් දෙකම නැතිවූ සිද්ධියක් අම්පාරේ ගමකින් වාර්තා වේ. 
ඒ සිද්ධිය මෙසේය. 
එක්තරා රජයේ ආයතනයක කනිෂ්ඨ සේවකයකු වූ මනාලයා මැදිවියට ළං වනතුරුම සුදුසු මනාලියක් සොයාගන්නට උත්සාහ කළ නමුත් ඒ සියලු‍ උත්සාහයන් වැළකී ගොස් තිබිණි. 
ලොකු දේපළක් සහිතව මනාලියක් සෙවීම ඊට හේතුව විය. 
 මේ අතර ඔහු දන්නා හඳුනන මගුල් කපු මහතකු හමුවී තමාට ගැලපෙන මනාලියක් සොයා දෙන ලෙස පවසා තිබිණි. 
ඒත් මනාලයාගේ මසුරුකම දත් කපු මහතා තමන්ගේ සේවා ගාස්තුව කියමින් ඒ සඳහා කපු ගාස්තුව වශයෙන් රුපියල් පහළොස් දාහක් ඉල්ලා සිටියේය. 
(ගමන් ගාස්තු සහ වෙනත් කටයුතු සඳහා) එම මුදල අය කර තිබිණ. 


“සල්ලි ප්‍රශ්නයක් නෑ, මට ඕනේ හොඳ තැනකින් කටයුත්තක් කරගන්න”‍ යැයි එවිට මනාලයා පවසා ඇත. 
මනාලයා තද ලෝබයකු වූ බැවින් මනාලිය බලන්නට යන දිනට රුපියල් හත්දහසක් දෙන ලෙසද මනාලයා දැනුවත් කර තිබිණි. 
ටික දිනකින් අම්පාරට තරමක් දුරින් පිහිටි ගමක තරුණියකගේ දෙමාපියන් මුණගැසුණු කපු මහතා මනාලයාගේ වැදගත් වතගොත පවසා ඔහුට මනාලිය බැලීම සඳහා එම නිවෙසට කැඳවාගෙන එන දිනයක් යොදාගෙන තිබිණි. 
මෙම දිනය මනාලයාටද සිහිපත් කර තිබුණු අතර මනාලයාද එයට කැමැත්ත පළ කරමින් “හා හා යමු යැයි”‍ කපු මහතාට පවසා තිබිණි. 
මනාලිය බැලීමට යන නියමිත දින උදෑසන මනාලයා කපු මහතාට ජංගම දුරකතනයෙන් කතා කර “අයියේ අද නං යන්න බෑ! මට ලොකු වැඩක් යෙදිලා තියෙනවා. වෙන දවසක් දා ගමු අනේ වෙරි සොරි”‍ යැයි කියා පවසා ඇත. 
“මම ඒ ළමයගේ අම්මා තාත්තටත් කියලා තිබ්බා අද එනවාමයි කියලා. තේ මේසයක් එහෙමත් හදන්න කිව්වා!”‍ 
“බෑ.. බෑ.. වෙන දිනයක යමු අද නම් බෑ”‍ යි මනාලයා ගමන මගහැරියේය. 
සිත් වේදනාවට පත් කපු මහතා මෙම ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලීමට තම යතුරුපැදියෙන් මනාලියගේ නිවෙසට ගොස් මනාලයාට හදිසි කරුණක් මත පැමිණීමට නොහැකි වූ බව පවසා සිටියේය. 
මේ අතර එම නිවෙසින් ඔහුට තේ පානය කිරීමට දුන් අතර ඔහු තේ පානය කරමින් සිටින අතරතුර පැමිණි යතුරුපැදියක් මිදුලේ නතර විය.
එහි පැමිණි දෙදෙනකු එම නිවෙසට එනු දක්නට ලැබිණි. 
“දෙයියෝ සාක්කි මනාලයා මට ගෙවන ගාස්තුවට ලෝබ වෙලා තමයි මේ තුට්ටු දෙකට කපු හාමිනේ කෙනෙක් එක්ක එන්නේ”‍ යැයි හිතූ කපු මහතා ගොළු වී බලා සිටියේය. 
කපු හාමිනේ සමග පැමිණි මනාලයා කපු මහතා දැක චකිතයෙන් පසුවූ අතර කපු මහතාද ලු‍ණු කෑ ගොළුවකු මෙන් බලා සිටියේය. 
මේ අතර මනාලියගේ පියා කිසියම් අවශ්‍යතාවයකට නිවෙස තුළට ගිය අවස්ථාවේ මනාලයා කපු මහතාට කතා කර “අයියේ පොඩ්ඩක් එළියට එන්නකෝ”‍ කියා මිදුල කොනකට ඔහු කැඳවාගෙන ගොස් “අයියේ පොඩි වැරදීමක් වුණේ, මං ඔයා වෙන දවසක එක්කන් එනවා පස්සේ මං කතාව කියන්නම්”‍ යැයි පැවසීය.  ඉන්පසු කිසිත් නොවූ අයුරින් ඔවුහු දෙදෙනා නිවෙසේ ආලින්දයට පැමිණියහ. 
වැඩි වේලාවක් ගත නොකළ මනාලයා තේ පානය නොකරම මඳ වේලාවකින් කපු හාමිනේ සමග යන්නට ගියේය. 
මෙම සිද්ධිය අදහා ගැනීමට බැරි වූ මනාලියගේ පියා “මොකද අර ළමයා තේ එකක්වත් නොබී කපු අම්මා එක්ක ආපහු යන්න ගියේ? ඔයත් එක්කත් මිදුලට ගිහින් මොනවදෝ කතා කරනවා මම දැක්කා”‍ යැයි කීවේය. 
එවිට කපු මහතා මනාලයා තරමක මසුරකු වන බැවින් අඩුම ගාස්තුවකට මෙම කපු කාන්තාව සමග හොරෙන් මෙසේ පැමිණ ඇති බව සඳහන් කළේය. 
එයට පිළිතුරු දුන් පියා “ආ එහෙමද ඔයත් අපිට කොළේ වැහුව වගේ, කපටින්ට අපේ ළමයා දීලා වැඩක් නෑ! මඟු‍ල මෙතනින්ම හබක් කියලා හිතාගන්න”‍ යැයි කියමින් කපු මහතාට පවසා නිවෙස තුළට ගොස් ඇත. 
මඳ වෙලාවක් එතන රැඳී සිටි කපු මහතා නිවැසියන්ට නොකියාම තම යතුරුපැදියේ නැගී පිටව ගොස් ඇත.