කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය



කැඩෙන්න ගිය කසාදයක් යළි එකතු කිරීමට වන අලියකු මැදිහත් වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 
මෙම අඹුසැමි යුවළ සමගියෙන් සාමයෙන් සතුටින් එක සතියක් ජීවත් වුවහොත් කෙහෙවලු‍ පටලා ගනිමින්, පරුෂ වචනයෙන් බැණ ගනිමින්, රණ්ඩු සරුවල් වෙමින් අඩුම ගානේ සති දෙකක්වත් කල්ගත කරති. 
අප මේ කියන දවසේ ඔවුහු දෙදෙනා ගිනි ඇවිළී සිටියෝය. මක් නිසාද යත්, කුමක් හෝ කුඩා කාරණාවකට ඔවුහු දෙදෙනා හොඳ හැටි බඩ කට පුරා බැණ ගනිමින් ගුටිබැට හුවමාරු කර ගනිමින් එදින සැන්දෑ යාමයේ සිටියහ.
“මම උඹ වගේ වසල මිනිහෙක් එක්ක තව එක දවසක්වත් මේ වහල යට ජීවත් වෙන්නේ නෑ. මම ඔළුව හැරුණු අතේ යනවා. ආයෙ මම ගැන හිතන්නවත් එපා”‍
මෙවැනි වචන සැමියාට ඉතා හොඳින් හුරුපුරුදු ඒවා නිසා ඔහු ඒවා ගණන් නොගෙනම නින්දට වැටුණේය. 


පාන්දර තුනට පමණ අසල්වැසි නිවැසියන් සහ ගමේ කිහිප දෙනෙක් එම නිවෙසට පැමිණ සැමියාගේ නම කියා ඉතාම කලබලයෙන් ඔහුව ඇහැරවන්නට වූහ. 
තද නින්දේ පසු වූ සැමියා අවදි වී ඉදිරිපස දොර ඇර ගමේ මිනිස්සු මේ ඇහැරවන්නේ කුමකටදැයි කලබල වී ඔහු ද මිදුලට පැන ඔවුන්ගෙන් කාරණාව විමසීය.
ඔහු විදුලි ආලෝකයෙන් දුටු දර්ශනයෙන් අන්ද මන්ද වී ගියේය. බිරිය පසෙකට වී හතිලමින් ගැහෙමින් වෙව්ලමින් බීරාන්ත වී සිටියාය.
“මේන් උඹේ මායියා බෑග් දෙකකුත් කරේ තියාගෙන මේ මහ පාන්දර කොළඹ යන බස් එකට යන්න තනියම පාර දිගේ ගිහිල්ලා. ඒ යනකොට තනි අලියා පාර මැද පර්වතයක් වගේ හිටගෙන ඉඳලා. ගෑනි මර ළතෝනි දීගෙන බෑග් දෙකත් විසි කරලා කෑගහලා තියෙනවා. ඒ අවට ගෙවල්වල මිනිස්සු කලබලයට පාරට ඇවිල්ලා මේ ගෑනිව බේරා ගත්තා. අලියා කුලප්පු වෙලා කැලේට ගිහිල්ලා. මෙන්න උඹේ ගෑනිගේ බෑග් දෙක. බස් එකට යනවනං උඹට තිබුණනේ ගෑනිව ඇරලවන්න.”‍ යනුවෙන් ඔවුහු පැවසූහ. 
ගමේ මිනිසුන්ට මුව නොසෑහෙන්න ස්තූති කළ සැමියා බිරිඳ සහ බෑග් දෙක ගෙට ගත්තේය. පසුව විපරම් කර බලද්දී බිරිඳ විසින් සැමියාට “කසාදය මෙතනින් ඉවරයි මම ගෙදරින් යනවා”‍ යනුවෙන් ලියා තිබූ ලිපියක් ඇඳ උඩ තිබී හමුවී ඇත. සැමියාට සියල්ල පැහැදිලි වුණේ ඉන් පසුවය.
මේ කතාව පහුවදා ඉර පායා පැය දෙකක් යන්නටත් මත්තෙන් ගමේ හැම ගෙදරකම ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබුණි. 
දැන් ගම්වැසියන් ගමට නිතරම එන තනි අලියා දකින විට “අන්න කසාදෙ හයිකරපු කපුවා ආයෙත් ගමට ඇවිල්ලා”‍ යනුවෙන් පවසනවාලු‍.