කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මිතුරාගේ පියාගේ මළගම දා රෑ කන පැළෙන්න බී අලි අමාරුවක වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයකු පිළිබඳව පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 
පුද්ගලයා ප්‍රසිද්ධ අයෙකි. කැමරාව කරකවන කැමරා ශිල්පියෙකි. ඔහු මේ ඊයේ පෙරේදා රෑ නිවසින් ගියේ හික්කඩුවටය. ඒ මිතුරකුගේ පියකුගේ මළගෙදර නිදි මැරීමටය. ගියේ තමාගේ යතුරුපැදියෙනි. එහි ගිය ඔහුට ඔහුවන් තවත් බෙබේලා දෙදෙනෙක් හමුවූහ. මේ තුන් දෙනා මළගෙදර නිදි මැරීම තියා හික්කඩුව නගර මධ්‍යයේ පිහිටි තානායමකදී සෙට් වූහ. කතා නායකයාට හොඳටම වැඩිය. මයික් එක කාටවත්ම නොදුන්නේය. තමාගේ කෙරුම් කියුම් ගැන කියමින් කාලය ගත කළේය.
තිදෙනා නිවෙස්වලට යාමට පිටත්ව ගියහ. කතා නායකයා එළි රෑ වෙනකම්ම තමා පැමිණි යතුරුපැදිය සොයමින් හික්කඩුව පුරාම ඇවිද්දේ ය. නමුත් එයනම් හමු නොවීය. යතුරුපැදිය නැතිව නිවසට ගියහොත් සිදුවන දේ දත් ඔහුට හීන් දාඩිය දැම්මේය. එනිසා කොහොම හරි ඔහු මුළු හික්කඩුව පුරාම මහ රෑ කළුවරේ සිය යතුරුපැදිය සොයමින් ගියේය. ඔහුට වැරදුනේ තමා මත්පැන් පානය කළ අවන්හල ඉදිරිපිට පාර අයිනේ යතුරුපැදිය නතර කළ බව සිහිවි පාර පැන්න නිසාවෙනි.
මෙසේ සිය යතුරුපැදිය සොයමින් ගිය ඔහුගේ කකුලක් වෙනත් යතුරුපැදියක වැදුණේය. කකුල තුවාල විය. ඒ එක්කම බෙරන් කොටයක් මෙන් ඉදිමී ආවේය. තමාට රුධිරගත සීනි ඇති බව අවබෝධ වූ විට ඔහුට දෙවියන් බුදුන් සිහිවිය. එහෙත් යතුරුපැදිය නැතිව නිවසට යාම කෙසේවත් කළ නොහැක්කක් විය. එයට ප්‍රධාන හේතුවක් තිබිණ.


පාන්දර යාමය වනතෙක්ම ඔහු වැනි වැනි කකුලේ වේදනාවෙන් ද මිරිකි මිරිකී සිය යතුරුපැදිය සෙව්වේය. රෑ ඔහුත් සමඟ බිව්ව අයෙකු හික්කඩුව නගරයට එන්නේ සිය දියණිය නගරයට ඇරලීමට ය. ඒ වනවිටත් තමා සමඟ එකට බිව් මිතුරා හික්කඩුව නගරයේය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ විට කීවේ තමා හික්කඩුවට පැමිණි යතුරු පැදිය නැති බවය. 
මිතුරාට කාරණය අවබෝධ විය. ඔහු සමඟ මිතුරා තමන් බිව් අවන්හලට ගියේය. එහි ඉදිරිපිට ඔහුගේ යතුරුපැදිය ආරක්ෂා සහිතව තිබුණේය. ඔහුට පොළව පලාගෙන යන තරමටම ලැජ්ජාය. මේ ගැන කාටවත් නොකියන ලෙස ඔහු මිතුරාගෙන් ඉල්ලා සිටියේය. මිතුරා ඊට පසු දිනම මේ සම්බන්ධයෙන් තමාගේ මිතුරන් දෙතුන් දෙනෙකුම දැනුම්වත් කළේය. ඒ කාටවත්ම මේ ගැන කට හොලවන්න එපායයි කියමිනි. ඔවුහු මේ ගැන කටක්ම නොසෙල්ලු‍හ. එහෙත් වට්සප් මැසේජ් මගින් තමන් දන්නා දන්නා අයට මේ ගැන කීහ.
යතුරු පැදිය සොයන්න ගොස් වෙනත් යතුරුපැදියක කකුල ගැටීමෙන් වූ කකුලේ ඇති වූ තුවාලයට දැන් ඔහු ප්‍රතිකාර ගනිමින් ඉන්නවලු‍.