පනස් දෙහැවිරිදි වියේ පසු වු මෙම මාතාව ඇතුළු මේ කුලඟන සමිතියේ සාමාජිකාවන් පිරිස ගමේ පොදු කටයුතුවලදි නායකත්වය ගෙන කටයුතු කරන ගමේ ප්‍රභූ මට්ටමේ කණ්ඩායමකි.
මෙදින ගමේ පන්සලේ පැවති යම් කටයුත්තකට සහභාගිවීමට මෙම කණ්ඩායම ද පැමිණ සිටියේය. කලක් මෙම පන්සලට එකල නිතර ආගිය ගැමියන් සමග ළෙන්ගතුව සිටි ප්‍රභූවරයෙක් මෙදින ගමේ පන්සලට පැමිණ සිටි අවස්ථාවේ මොවුන් වැඩ කරමින් සිටින ස්ථානයට පැමිණියේය.
එසේ පැමිණි පිරිස සමග ආගිය තොරතුරු කතා කරමින් සිටින අවස්ථාවේ මෙම මාතාව දැක “මේ අපේ..... අම්මා නේද” යැයි එක් මවකගේ නම කියා අමතා “ උපාසක අම්මා බොහෝම වයසට ගිහිල්ලානේ. බලන්නකෝ අනෙක් අම්මලාගේ හිස කෙස් කළුපාටයි මේ අම්මාගේ හිස කෙස් ඔක්කොම සුදුපාට වෙලානේ.” යැයි පිරිස ඉදිරියේ පවසා ඇත. මෙයින් ඇය එම අවස්ථාවේ දැඩි අපහසුතාවයකට පත්වු බව ඇයගේ යෙහෙළියන්ට වැටහුණි.
පිරිස කරනු ලැබු අදාළ කාර්ය නිමාවී පෙරළා නිවස බලා එන අතරේ එක් මිතුරියක පැවසුවේ “උඹත් අපි වාගේ ඔය සුදු කොණ්ඬේ කළු කරගනින්. එතකොට උඹටත් තරුණ පෙනුමක් එයි.” කියාය.
එම උපදෙස් අනුව ඇය පසුදින වෙළඳපළෙන් මිලදි ගත් හිස කෙස් කලුකරන ආලේපනයක් රැගෙන විත් හිසේ ආලේපනය කිරීමට සුදානම් වන විට පවුලේ දරුවන් ද ඇයට උසුළු විසුලු කළේ “අපේ අම්මා ආයේ තරුණ වෙන්න හදනවා. ඕක එතරම් හොඳ වැඩක් නොවෙයි. ඔය වැඩේ කරන්න එපා” කියාය.
එහෙත් දරුවන්ගේ කීමට අවනත නොවු ඇය පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව අදාළ ආලේපනය හිසේ ගා නා පිරිසිදු වී ගතවුවේ විනාඩි කිපයකි. ඇගේ මුහුණ රතුපාට වී තොල් ඉදිමී ඇඟ පුරා කුඩා පලු මතුවී කැසීමට පටන්ගෙන තිබේ.
මේ තත්වය දැකගත් දරුවන් ඇය ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ අතර දිනක පමණ කාලයක් රෝහල් ගතව සිට සුවය ලබා නිවසට පැමිණි අතර ඇය පැවසුවේ “දරුවන්ගේ කීම අහන්නේ නැතිව මමත් කරගත් මෝඩකමක මහත. තවත් නම් මේ වාගේ මෝඩ වැඩ කරන්නේ නෑ.” යැයි කියාය.
සුදු කෙස් කලු කරගන්නට ගිය කතාව පසු දින ගම පුරා පැතිර ගියේ ළැව්ගින්නක් මෙනි. මේ නිසාවෙන් ලැජ්ජාවට පත් මාතාවට මාසයක පමණ කාලයක් ඈත දුරක පිහිටි දියණිකගේ නිවසක් කරා ගොස් කලු කෙස් නැවත සුදුවෙන තෙක් සිට ගමට පැමිණීමට සිදුවිය.
හසලක සුනිල් ඒකනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd