පෝද්දල සරත් ආනන්ද ගමගේ


නිවසේ නාන කාමරයක අක්‍රීයවී තිබුණු ජල කරාමයක් මාරුකර, බිඳීගිය කණ්ණාඩිය වෙනුවට අලු‍ත් කණ්ණාඩියක් නොමිලේම සවි කරගන්නට ගිය පුද්ගලයෙකුට සිදුව ඇති අකරතැබ්බයක් ගැන තොරතුරු පසුගියදා දකුණු පළාතේ බත්දුන් ගමකින් අසන්නට ලැබුණි.

හෙතෙම ජලයට සම්බන්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලැබූවෙකි. ගේ දොර වතුපිටි ඉඩකඩම් ඇතුළු මහාවස්තු සම්බාරයකට හිමිකම් කියූව ද හේ උපන්ගෙයිම ලෝභයෙකි. ගමේ පමණක් නොව රැකියාව කළ ආයතනයේ ද ඔහු මසුරෙකැයි ප්‍රසිද්ධව සිටියේ ය. 

විශ්‍රාම ලැබූවද නිවසේ ජලය සම්බන්ධ ගැටලු‍වක් ඇති වූ විට තමා රැකියාව කළ ආයතනය හරහා කම්කරුවකු ගෙන්වාගෙන ඒවා නොමිලේම කරගැනීම ඔහුගේ පුරුද්ද විය.

මේ නොබෝදා ඔහුගේ නිවසේ නාන කාමරයේ ජල කරාමයක් අක්‍රීයවී එහි සවිකර තිබෙන කණ්ණාඩිය ද දුර්වර්ණවී පළුදුව තිබී ඇත. මේ අලු‍ත්වැඩියාවට අවශ්‍ය භාණ්ඩාදිය මිලදී ගත් ඔහු ඒවා සවිකරගැනීමට පුහුණු කම්කරුවකු ලබාදෙන ලෙස තමා රැකියාව කළ ආයතනයේ ඉහළ නිලධාරියකුට දුරකතනයෙන් දැනුම් දුන්නේ ය. 

තමන්ගේ කලින් නිලධාරියකු වූ මේ තැනැත්තා වැඩක් කළත් සේවකයා අතට කීයක්වත් නොදෙන නිසා ආයතනයේ සේවකයන්ද කිසි කෙනකු ඔහුගේ නිවසට යාමට අකමැති ය. කෙසේ වෙතත් ආයතන ප්‍රධානියා තමන් සමඟ කලින් එකට රාජකාරි කළ මිතුරාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි බැවින් නිවාඩු දිනක කම්කරුවකු යොමු කර ඇත්තේ ඔහුට අතිකාල ලබාදීමේ පොරොන්දුව මතය.

ඒ අනුව එම නිවසට ගිය සේවකයා නිවෙස් හිමියාගේ උපදෙස් පරිදි මුලින්ම අක්‍රීයව තිබුණු ජලකරාමය මාරුකර දුන්නේ ය. දෙවනුව පැරණි කණ්ණාඩිය වෙනුවට අලු‍ත් කණ්ණාඩිය සවිකිරීම ඇරඹීය. නමුත් එතන පොඩි පරහක් විය. තිබුණු කණ්ණාඩිය මැදින් එක ඇණයකින් රඳවා තිබුණ ද අලු‍ත් එක රැඳවීමට නම් දෙපැත්තෙන් ඇණ දෙකක් අවශ්‍ය විය. ඒ සඳහා ඩ්‍රිල් එකක් ද කුලීයට ගෙන්වා ගත් සේවකයා ඔහුගේ උපදෙස් අනුව ටයිල් බිත්තිය හිල් කළේය. වැඩේ පත්තුවුණේ එතනදී ය. බිත්තියේ තිබුණු බටයක් හිල්ව ජලය විදින්න පටන් ගත්තේ ය. දැන් කණ්ණාඩිය පැත්තකට දමා ජල නළය පිළිසකර කිරීමේ කාරිය සේවකයාට පැවරුණි.

එහිදී සේවකයා පැවසුවේ මෙතනින් බිත්තිය කඩනවිට ටයිල් විශාල ප්‍රමාණයකට හානි සිදුවෙන නිසා බටයේ ප්‍රමාණයට විතරක් බිත්තිය කඩන්න නම් “කටින් වීල් එකක් සමඟ ග්‍රයින්ඩරයක්”‍ අවශ්‍ය බවයි. “දැන් එක හිලක් විදින්න 500 ක් දීලා ඩ්‍රිල් එකක් ගෙනාවා. ඕක ගෙනාවොත් කටින් වීල් එකටත් එක්ක තව 1500 ක විතර යනවා. එනිසා නිකන් කපන කටුවෙන් කඩන්න”‍ යැයි කියමින් නිවෙස් හිමියා සේවකයාට කටුවකුයි මිටියකුයි ගෙනැවිත් දුන්නේ ය.

මොහුගේ ලෝභකමත් මට්ටු කරන්න සිතූ සේවකයා ලොකු පදාසයක්ම කැඩීයන්නට පහර දෙමින් ටයිල් බිත්තිය කඩා බටය මතු කරගෙන හිල්වූ කොටස පිළිසකර කළේය. ඉන්පසු කණ්ණාඩිය ද එල්ලා දුන්නේ ය. “ඔන්න මහත්තය කිව් විදියටම වැඬේ කළා”‍යැයි කියමින් ඔහු අවසානේ එම නිවසින් පිටව ගොස් ඇත.

එම සේවකයා මාර්ගයෙන් සිද්ධිය ආයතනය පුරා පැතිර ගොස් ඇති අතර පසුව ගමටද ආරංචි වී ඇත. සිද්ධිය ඇසූවන් කියන්නේ මසුරුකමට දඬුවම් ලැබී ඇතැයි කියා ය. දැන් මේ තැනැත්තා කැඩුණු ටයිල් කෑල්ලක් ද ගමන් මල්ලේ දාගෙන ඒ වර්ගයේ ටයිල් සොයමින් රටපුරා සැරිසරන බවද ආරංචිය.