(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
තම එළු පට්ටියෙහි එළුදෙනකගේ පාදයේ ඇති වූ තුවාලයක් නිසා එළු පට්ටි හිමිකාරිය විසින් එම එළුදෙනට කලිසමක් ඇන්දවීමේ පුවතක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක වෙසෙන ව්‍යාපාරික කාන්තාවකි. සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය තරමක් විශාල එළු පට්ටියක හිමිකාරියකි.
දිනක් ඇයගේ එළු පට්ටියේ සිටින ගැබ්බර එළුදෙනකගේ කකුල බල්ලෙක් සපා කෑමෙන් තුවාල විය. දින කිහිපයක් තිස්සේ එම තුවාලයට තමන් දන්නා තරම් ගොඩවෙදකම් කළත් පලක් නොවූ නිසා ඇය අවසානයේ ප‍්‍රදේශයේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලයක් වෙත ත‍්‍රිරෝද රියකින් එළුදෙන ගෙනගියේ නිසි ප‍්‍රතිකාරයක් ලබා ගැනීමටය.
එළුදෙන පරීක්ෂා කළ පශු වෛද්‍යවරයා බෙහෙත් වර්ග කිහිපයක් දී උදේ හවස තුවාලයට දැමීම පිණිස එක්තරා කුඩු වර්ගයක් ද දුන්නේ ඒවා දැමීමෙන් අනතුරුව එළුදෙනට තුවාලය ලෙව කෑමට ඉඩ නොදෙන ලෙස හිමිකාරියට උපදෙස් දෙමිනි.
එළුදෙන සමඟ ආපසු නිවෙසට පැමිණි හිමිකාරිය ඌට කන්නට දී කකුලේ තුවාලයට වෛද්‍යවරයා දුන් බෙහෙත් කුඩු දමා එතැන ලෙවකෑමට නොහැකි වන අයුරින් එළුදෙන ලණුවෙන් කොටකර කණුවක බැන්දාය.
බෙහෙත් කුඩු දැමීමෙන් පසු තුවාලයේ ඇති වූ වෙනසක් නිසා හෝ වෙනත් කරුණකට කොතරම් කොටකර බැන්ද නමුත් එළුදෙන තත්ත්පරයක් පුරාම තුවාලය ලෙවකෑමට උත්සාහ කරනු දුටු හිමිකාරිය එයට කුමක් කරන්නේදැයි දස අතේ කල්පනා කරමින් සිටින විට ඇයට කදිම අදහසක් පහළ විය.
වහා නිවෙස තුළට ගිය ඇය තම කුඩා පුතුගේ පරණ කලිසමක් සොයාගෙන විත් එළුදෙන බෑ බෑ කියද්දීම ඌට ඇන්දුවාය. ඉන්පසු එළුදෙන කොතරම් ලෙවකෑවත් උගේ දිවට ස්පර්ශ වන්නේ තුවාලය නොව කලිසම බැවින් හිමිකාරිය මහත් සැනසීමෙන් යුතුව දවසේ ඉතිරි වැඩවල නිරත වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ට හරිම කරුණාවන්ත හින්දා සත්ව කරුණාවට පස්සේ අභය දානය දෙන්න වෙන්න ඇති ලෙන්ගතුකමින් කරුණාවෙන් විශාල එළු පට්ටියක් පවත්වාගෙන යන්නේ? (නි)
සතුන්ට කරුණාව ඇති කාන්තාවක් (නි)
හිමිකාරිය කළේ හොඳ දෙයක් .කලිසමේ එක කකුලක් වෙන්න ඇති අන්දන්න ඇත්තේ නේද? (බ)
කුරුණෑගල කියන්නෙ ලංකාවේ හොඳම පළාතනේ කොහොමත් (නි)
එකෙ එච්චර පුදුම වෙන්න දෙයක් නෑනේ (ම)
ඒ අදහසත් නරකම නෑ.(හේ)
තැනට සුදුසු නුවණ කදිමයි (ම)
ධර්මසූරිය ඒ ගැන නම් කියලා වැඩක් නැහැ .(හේ)
මටනම් මේකේ වරදක් පෙනෙන්නේ නෑ.මෙතන එම කාන්තාව දෙස උපහාසාත්මකව බලන්න ඕන නෑ. (බ)
අන්න මොළේ (බ)
කුරුණෑගල දිස්ත්‍රික්කේ මිනිස්සු කවදත් යහපත්.... මිනිසත් කම් වලින් පොහොසත්... සතා සර්පයාට වුනත් කරුණාවයි.(හේ)
අනේ අප්පේ පොටෝ එකක් නෑනේ. කලිසම අන්දපු විදිය බලාගන්න (බ)
සත්ව කරුණාව සත්තු ටික ලොකු වෙනකල්ද.? (ර)
" සතුන් කෙරෙහි ඉමහත් ලෙන්ගතුකමක් දක්වන ඇය" ට අපගේ ප්‍රණාමය (නි)
ත්‍රීරෝද රියකින් අරගෙන යනකොට දැඟලුවේ නැද්ද? (නි)
එළුදෙන "බෑ, බෑ" කිව්වට, ඒ කියන්නේ "හා, හා" කියලා. ඒ කාන්තාව ඒක දන්නවා. (නි)
සත්ව හිංසනය වැඩිවෙන මෙවන් කාලයක මෙය අගය කළයුතු දෙයකි. එම කාන්තාව කළේ කුමක් වුවත් එය සතාගේ යහපත සඳහා කළ දෙයකි. (නි)
මොනවා උනත් කදිම නුවන !(ම)
ධර්මසුරිය , කුරුණෑගල ගැන අපි නොදන්නා චෙස්! එහෙ ඉන්නේ ඔක්කො බෝධිසත්වයෝනේ (නි)
මාර ලෙන්ගතුකමක්නේ! මේ කියන අය සත්තු හදන්නේ කිරි බීමට විතරද? (නි)