ජංගම දුරකතනයකින් මිතුරන් දෙදෙනකු හුවමාරු කර ගත් පණිවුඩයක් හේතුවෙන් පවුල් දෙකක් අතර වෙන්නට ගිය මහා විනාශයක් ඔවුන් දෙදෙනා බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා වැළකී ගිය පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
සම වයසේ පසුවෙන මොවුන් දෙදෙනාම දරුවන් සිටින 35 හැවිරිදි වියේ පමණ පසුවෙන එක්තරා ආයතනයක සේවය කරනු ලබන දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා කළණ මිතුරන් වුවත් ඔවුන්ගේ බිරින්දෑවරුන් එකිනෙකාට හඳුනන්නේ නැත. එයට හේතුව කාන්තාවන් දෙදෙනා කිසිම දිනක හමුවී නොමැති නිසාවෙන් හා ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට මිතුරන් දෙදෙනා කටයුතු නොකිරීම හේතුවෙනි.
දිනක් එක් මිතුරකුගේ ස්මාට් ජංගම දුරකතනයට අනෙක් මිතුරාගේ ජංගම දුරකතනයෙන් ලද කෙටි පණිවුඩයේ සඳහන් වූයේ “මම ඔයාට ආදරෙයි ” යන්නයි. එම පණිවිඩයට පෙරළා ඔහු මිතුරාට පිළිතුරු යැවුවේ “මමත් එහෙමයි” යනුවෙනි.
මෙදින නිවාඩු දිනයක් නිසා මිතුරා රැකියාවට නොගිය අතර නිවසට අවශ්‍ය කළමනා කීපයක් ගැනීම සඳහා අසල පිහිටි වෙළඳ සැල වෙත ගියේ ජංගම දුරකතනය නිවසේ මේසය මත තබාය.
එම අවස්ථාවේ දුරකතනයට ඇමතුමක් ආ නිසා බිරිඳ එය ගෙන බලා සැමියා නිවසේ නොමැති බවත් පසුව ඇමතුම ගන්නා ලෙසත් දන්වා ජංගම දුරකතනනයේ වට්ස් ඇප් එකට පිවිසියේය. එය පරිශීලනය කරමින් සිටින විට ඇයගේ නෙත ගැටුණු කෙටි පණිවිඩයකින් ඇයට උන් හිටි තැන් අමතකව ගියේය. එහි සඳහන්ව තිබුණේ ලද පණිවිඩයකින් “මම ඔයාට ආදරෙයි” කියාත් පෙරළා සැමියා යැවූ පණිවිඩයේ “මමත් ඔයාට එහෙමමයි” යනුවෙනි. “ආනේ මේ මිනිහා මට හොරෙන් වෙනත් ගෑනියක් ඇසුරු කරනවා. හිටපංකෝ.” කියා තමන්ට කියා ගත් ඇය ඒ සමඟම එම ජංගම දුරකතනයට වට්ස් ඇප් ඇමතුමක් ගනු ලැබුවාය.
මෙදින නිවාඩු දිනයක් නිසා මිතුරා ද සිය ගෙවත්තට ගියේ එහි පැසී තිබූ ගම්මිරිස් ටික කඩාගෙන ඒමටයි. ඔහුද සිය ජංගම දුරකතනය රැගෙන නොගිය අතර එය නිවසේ දමා ගියේය. එම දුරකතනයට ඇමතුමක් ආවේ ඔය අතරේය. සැමියා නොමැති හෙයින් නාදවෙන දුරකතනය අතට ගෙන “හලෝ” කියා ඇමතුවා පමණි.
තල් අත්තට බොරළු හැලෙන්නා සේ පැමිණි එම ඇමතුමෙන් ගලා ගෙන ආවේ නොසරුප් වචන ගොන්නකි. “තොට වටිනවද යකෝ මගේ මිනිහගේ කරේ එල්ලෙන්න. තෝ දැන ගන් මම කවුද කියලා. මමත් මගේ දරුවෝ දෙන්නයි මහ පාරට ඇද දමන්නද හදන්නේ. හිටපිය මම තෝ හොයාගෙන හෙටම එනවා. ” යැයි කියා අනෙක් පසින් පිළිතුරක් දෙන්නටත් කලින්ම දුරකතනය විසන්ධි විය.
මෙයින් අන්ද මන්ද වූ මිතුරාගේ ”ගේ බිරිඳ වහා ගෙවත්තේ සිටි සැමියා සොයාගෙන ගොස් ලද පණිවිඩය පැවසුවාය. ඔහු ජංගම දුරකතනය ගෙන එහි සඳහන් වූ කරුණු කාරණා බිරිඳට පහදා දුන් අතර “ කලබල වෙන්න එපා. එයා වලිගය පාගාගෙන මම මේක විසඳන්නම්.”යැයි ඇයට පවසා ඔහු කරමින් සිටි කාර්ය නතර කොට එම මොහොතේම මිතුරාගේ නිවස බලා පිටත්විය.
ඔහු එම නිවසට යන විටත් එම නිවසේ දෙන්න දෙමහල්ලෝ අතර ඇති වී තිබුණේ මහා වාග් ප්‍රහාරයන්ය. මිතුරා ‘‘දුටු මිතුරා පැවසුවේ මචං උඹ ආපු එක හොඳයි. ඔන්න මට මැසේජ් එක එවපු කෙනා. දැන් තමුසේ මෙයත් එක්ක ප්‍රශ්නය විසඳ ගන්නවාකෝ. යනුවෙන් සිය බිරිඳට පවසා ඔහු එතැනින් පිටත් වී ගෙතුළට ගියේය.’’ මිතුරා ඇයට කරුණු කාරණා පහදා දී මෙසේ කෙටි පණිවුඩයක් එවීම පිළිබඳ මිතුරාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් සමාව ඉල්ලා සිටියේ දුර දිග නොසිතා තමන් එවූ කෙටි පණිවිඩය මෙතරම් ආරවුලක් සිදුවේදැයි නොසිතා බවද ඇයට පැවසීය.
මෙම කරුණු තේරුම් වලින් පසුව දැඩි අපහසුතාවයටත් ලැජ්ජාවටත් පත් ඇය තමන් මිතුරාගේ බිරිඳට නොසරුප් වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් ඇයගෙන් සමාව ගැනීමට දුරකතනය හරහාම සිදුකිරීමට ඇය කටයුතු කරනු ලැබුවාය. මිතුරා කළ විහිළුවෙන් පවුල් දෙකක ඇස් රතු වී සිදුවීමට ගිය මහා විනාශයක් වැළකී ගිය අතර කෙටි පණිවුඩය යැව්ව මිතුරා දකින පිරිස දැන් සනීපදැයි අසද්දී ඔහුට ආ තරහා තවමත් සංසිඳී නැතිලු.
හසලක සුනිල් ඒකනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd