නොර්වුඩ් රංජිත් රාජපක්ෂ 
දීපවාලි උත්සවය සඳහා නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළදුම් රැගෙන යාමට බගවන්තලාවේ සිට හැටන් දක්වා පැමිණි කාන්තාවකගේ සොරකම් කරන ලද මුදල් පසුම්බියක් කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී හමුවීමේ අපූරු සිද්ධියක් පෙරේදා 11 වැනිදා හැටන් නගරයෙන් වාර්තා විය.
ඇය හැටන් සිට බගවන්තලාව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයට නැග ඇති  කාන්තාවකි. එකවරම බස් රථය තුළදී මුදල් පසුම්බිය පරීක්ෂා කරද්දී මුදල් පසුම්බිය නොවිණි. කාන්තාව වහා හැටන් බස් නැවතුම්පොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් හමු වූවාය. බස් රථය තුළදී කිසියම් පුද්ගලයකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බව ඇය ඔවුන්ට දැන් වූවාය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරිහු බස් රථයේ නැග සිටි සියලු‍ම මගීන් බස්සවා පරීක්ෂා කළහ. කාන්තාවගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ විය. පොලිස් නිලධාරින් එය රැගෙන එම කාන්තාවට බාර දුන්නේ ඔවුන් ද විමතියට පත්වෙමිනි. 


තම බිරියගේ මුදල් පසුම්බිය සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් සැමියාගෙන් විමසුවේය.  එවිට ඔහු කියා සිටියේ මත්පැන් බෝතලයක් මිල දී ගැනීමට තමන් සතුව මුදල් නොමැති නිසා බස් රථය තුළදී බිරිඳගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවයි.
සැමියාට දැඩි ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් ඔහු මුදා හැරියේ බිරියගේ ද ඉල්ලීම පිටය.