අතර මගදී හමුවුණු මගියාට මාර්ග පහසුකම් සපයන්න ගොස් මතකම හිටින පාඩමක් ඉගෙනගත් අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හේ සත්ගුණවත් අයෙකි. නිතරම බලන්නේ කාට හෝ උදව්වක් පදව්වක් කරන්නටය. ගමනක් බිමනක් යකකොටද එය එසේමය. යතුරු පැදියෙන් යතොත් තමා යන මාර්ගයේ ඒ දෙසට පාගමනින් යන අය දුටුවහොත්  සිය යතුරුපැදියේ දමාගෙන යාමට ඔහු දෙපාරක් නොසිතන්නේය. ඒ ඔහුගේ හැටිය. ඒ ප්‍රදේශයේ බොහෝ අය එය දනිති.
එදා උදේ ඔහු අත්‍යවශ්‍ය කාර්යයකට යතුරුපැදියෙන් යමින් සිටියේය. එසේ යන අතරමගදී ආරක්ෂිත හිස් වැසුමක් අතැතිව සිටි අයෙක් ඔහුට අත දැම්මේය. දෙපාරක්ම නොසිතා ඔහු යතුරුපැදිය නතර කළේය. එම මගියාගේ  අතේ ආරක්ෂිත හිස් වැසුමක් තිබෙනු දැක ඔහු සතුටු වූවේය. ඒ දැන් මෙයා කිසිම කරදරයකින් තොරව සිය යතුරුපැදියේ දමාගෙන යාමට හැකි යයි ඔහුට සිතුනු නිසාය.


ආරක්ෂිත හිස් වැසුමක් නොමැති මගීන් සිය යතුරුපැදියේ දමාගෙන ගොස් පොලිසියට මාට්ටුවී ඇති අවස්ථාවන්ද ඔහුට සිහිවූවේය. එවන් අවස්ථාවලදී දඩ නොගෙවා යාමට තමන්ට දැරීමට සිදුවූ  ප්‍රයත්නයන් ගැනද සන්තානයට ආවේය. මේ මගියාගේ අතේ ආරක්ෂිත හිස් ආවරණයක් ඇති නිසා කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔහුව සිය යතුරුපැදියේ නංවාගෙන ඉදිරියට ගියේය.
එසේ  වැඩි දුරක් යාමට නොහැකි විය. මග රැක සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් යතුරුපැදිය නතර කරන ලෙසට අණ දුන්නහ.
කිසි ප්‍රශ්නයක් නැත. තමාට මෙන්ම පිටුපස ගිය අයටද ආරක්ෂිත හිස් වැසුම් ඇති බවත් තමාට මහ මග යතුරුපැදියක් පැදවීමට අවශ්‍ය දෑ සියල්ල සපුරා ඇති බැවින් ඔහු සිය යතුරුපැදිය පොලිස් නිලධාරීන් දෙදෙනා සම්මුඛව නතර කළේය.
ඔහු මෙන්ම ඔහු  පිටුපස නංවාගෙන ආ පුද්ගලයා පොලිස් නිලධාරීහු පරීක්ෂා කළහ. පිටුපස පැමිණි පුද්ගලයාගේ කලිසම් සාක්කු දෙකෙන් පැකට් වගයක් පොලිස් නිලධාරීහු දෙදෙනා එළියට ගත්හ. හා මේ තියෙන්නේ බඩු දෙන්නාම එහෙනම් පොලිසියට යන්න ලැහැස්ති වෙන්නයි කියමින් පොලිස් නිලධාරීහු දෙදෙනා කීහ. යතුරුපැදිකරුට දෙවියන් බුදුන් සිහිවූවේය. තමා මේ පුද්ගලයා නොහඳුනන බව කීවද යතුරුපැදිකරුට නිදහසක් නොවීය.
ඒ සමගම ටික වේලාවකින් පොලිස් ජීප් රථය එම ස්ථානයට ආවේය. දෙන්නාම ජීප් රථයේ නංවාගෙන පොලිසියට ගියේය. යතුරුපැදිය පොලිස් නිලධාරියෙක් පදවාගෙන ගියේය. ඔහුගේ ගමන එතනින් නතර වූවේය. පොලිස් දැලෙන් නිර්දෝෂි වීමට ඔහුට සෑහෙන වෙලාවක් පොලිසියේ ලගින්න සිදුවූවේය.

කරන්දෙණිය 
එම්. සුසිල් ප්‍රියන්ත