අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු දකුණු පළාතේ ග්‍රාම පෙදෙසක වනාන්තරයක් ආසන්නයේ කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය විවාහක පුද්ගලයෙකි. ඒ ආසන්නයේ වෙනත් කඩයක් නොවූයෙන් හා ඔහුගේ සුහදශීලිත්වය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන අය මෙන්ම ගමෙහි අය ද මෙම තේ කඩයෙන් කහට කෝප්පයක් නොබී යාමට අමතක නොකළහ.
එහෙත් ඔහු තුළද විවිධ දුර්වලතා ද නැතිවා නොවේ. ඔහුගේ නරක පුරුද්දක් වූයේ කවුරුන් හෝ ගෙනයමින් සිටි දෙයක් දුටුවහොත් ඉන් කොටසක් ඉල්ලා ගැනීමයි. කෙනකු කොස් ගෙඩියක් ගෙන ගියත් අනේ ගොඩක් දවසකින් කොස් කන්න බැරි වුණා. මටත් කෑල්ලක් දෙන්න යනුවෙන් පවසා ඉන් කොටසක් ලබා ගැනීම ඔහුගේ පුරුද්දයි.
දිනක් ගමේ තරුණයන් දෙදෙනකු වනාන්තරයට යන ගමන් කඩයටත් ගොඩ වැදුනේ කහට කෝප්පයක් බීමටයි. කොහෙද මේ දරුවන් යන්නේ යයි ඔහු විමසු විට මාමේ අපි මේ කැලේ පැත්තට යනව බෙරලිය අහුලන්න. එහෙනම් හොඳ දරුවො වගේ මටත් එක්ක බෙරලිය ටිකක් අහුලාගෙන කෙක්කට ගන්න ඇහැකි හොඳ කෝටුවකුත් කපාගෙන එන්න. යනුවෙන් පැවසුයේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනු පිණිසය.
කහට වල මුදල් ගෙවා දැමු ඔවුහු මුදලාලිගේ මේ පුරුද්ද නැති කිරීමට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කරගෙන කැලයට ගොස් බෙරලිය අහුලාගෙන, බදුල්ල වර්ගයේ ලීයක් තමන්ගේ සිරුරේ නොගෑවෙන පරිදි පරෙස්සමට කපාගෙන කැලයෙන් එළියට පැමිණ එම කෝටුව මුදලාලිට දී මුදලාලි ඔය ලීයෙ පොත්ත අයින් කරලා වේළෙන්න දාන්න යනුවෙන් පවසා යන්න ගියහ.
බදුල්ල ගසෙහි විස ඇති බව අසා තිබුණත් එම ගස නොහඳුනන මුදලාලි ලීය පොතු ගසා කර මත තබාගෙන නිවසට ගෙන ගියේය. රාත්‍රී කාලයේ ඔහුගේ ශරීරය පුරා කසන්නටත් පළු දමන්නටත් වුයෙන් එළිවෙනතුරු එය ඉවසා පසුදා උදෑසන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට වෛද්‍යවරයා පවසා සිටියේ ශරීරයේ තැවරී ඇත්තේ විෂ සහිත දෙයක් බවයි.
පසුව ඔහුට අවබෝධ වූයේ තමා කර තබාගෙන පැමිණියේ බදුල්ල ලීයක් බවත්, එය තැවරුනු ස්ථාන පළු දමා පසුව තුවාල හටගන්නා බවත් ය. තමා උගුලකට අසු වීම හේතුවෙන් ඇති වූ ලැජ්ජාව නිසාම දවස් කිහිපයක් කඩය වසා දමා ගෙදරට වී සිටි මුදලාලි කල්පනා කළේ මේවා තමාට හොඳ පාඩමක් බවයි. ඉන් පසු ඔහු කිසිම දිනෙක කිසිවකුගෙන් කිසිවක් ඉල්ලන්නේ නැතිලු.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd