කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



කාර්ය බහුල පියා පුතා ඉංග්‍රීසි පංතියට රැගෙන ගිය පළමු දවසෙම සිය භාර්යාව ඉදිරියේ දණින් වැටුණු අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
කාර්යබහුල ඔහුට එදා පොඩි පහේ විවේකයක් ලැබුණේය. මෙවැනි අවස්ථාවක් ලැබෙන තෙක් ඔහුගේ භාර්යාව සිටියේ නොඉවසිල්ලෙනි. එදාට ඇය ගෙදර තියෙන කිලිටි රෙදි බේසම ඔහුට පෙන්වන්නීය. ඒ අනුව ඒ රෙදි තොගයම සෝදා මිස ගැලවීමක් ඔහුට ඇයගෙන් නොවන්නේය.
එදා ලැබුණු කෙටි නිවාඩුවේදී භාර්යාව ඔහුට පැවරුවේ සිය පුතා ඉංග්‍රීසි පන්තියට රැගෙන යන ලෙසය. හරි නෝනේ මම ඒක කරන්නම් කියා ඔහු භාර්යාවට කීවේ ඇයගේ හැටි දන්නා කියන නිසාය. ඒ අනුව ඔහු සිය පුතා ඒ ඉංග්‍රීසි පංතියට රැගෙන ගියේය.
එහිදී ඔහුට එක් අයෙක් ගුඩ් මෝනින් කීවේය. ඔහුත් නිකං නොහිටියේය. කටපුරා සිනාසී පෙරලා ගුඩ් මෝනින් කීවේය. එම තැනැත්තා අපේ මිත්‍රයාගෙන් ආගිය තොරතුරු විමසන්නට වූවේය. ඒ සියල්ලම ඉංග්‍රීසියෙනි. ඔහුට හීන් දාඩිය දාන්න පටන් ගත්තේය ඔහු එතනින් මාරුවී ගියේ හෙමිහිටය.
මිනිහා තවත් අමාරුවේ වැටුණේය. ඒ පුතාගේ ඉංග්‍රීසි පන්තියෙන් පිරවීමට දුන් පෝරමයක් නිසාය. එය පිරවීමට තියා එහි තියෙන දෑ ද ඔහුට අපභ්‍රංස වැනිය. එය පිරවීම කෙසේවෙතත් ඔහු ඒ පෝමය රෝල් කර තබා ගත්තේ තමාට වඩා ඉංග්‍රීසි දැනුමක් ඇති භාර්යාවට කියා එය පුරවා ගැනීමටය.


එම ස්ථානයේ සිටි තවත් අය ඔහු සමග කතාවට සෙට්වීමට පැමිණියහ. ඒ ඉංග්‍රීසි භාෂාවෙන්ය. එන පොට හොඳ නැති බව වඩාත් තේරුම් ගිය ඔහු පෙරලා නිවසට දුවගෙන ආවේය. ඔහු එන අයුරු දුටු භාර්යාව සිතුවේ සිය සැමියාට හදිසි වැසිකිළි අවශ්‍යතාවයක් වන්නට ඇතැයි සිතාය.
මොකද මේ කලබලෙන් ඔහුගේ කලබලය දුටු භාර්යාව ඇසුවාය. මොකද තමයි අනේ හාමිනේ ආයෙනම් මම ඒ පංතියට නම් යන්නේ නැහැ. මේන් වැන්ඳා යයි කියමින් ඔහු භාර්යාවට වැන්දේය.
අයියෝ හාමිනේ පුදුම ඉංග්‍රීසියක් නේ ඒ මිනිස්සු කතා කරන්නේ. අනේ හාමිනේ මම ආයෙත් වැඳල කියන්නම් ගෙදර ඉන්න දවසට රෙදි බේසම් දහයක් වුණත් හෝදන්නම් පුතාගේ ඉංග්‍රීසි පන්තිය ළඟට යන්න නම් බැහැ කියමින් ඔහු අවසාන වරට බිරිඳට වැන්දේ දණ නමස්කාර කරමින්ලු‍.