පෝද්දල සරත් ආනන්ද ගමගේ
විවාහ වී වසර තිහක් තිස්සේ බිරිඳගේ අණසකට යටත්ව සිටි පුද්ගලයකු ඉන් මිදීම සඳහා මිතුරන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගොස් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි සීන් එකකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
මේ අපේ කතානායකයා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. වසර දෙක තුනක්ම ප්‍රේම කර විවාහ වී ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරය. ලොකු මහත් වූ දරු දෙපලක් ද ඔවුන්ට සිටිති. තුන්සිය හැටපස් දවසේම කොහේ හෝ රැකියාව කළ ද සුරාමේරයෙන් වැළකී සිටියද ඔවුන් කියන තරම් දියුණුවක් ද ලබාගෙන නැත. එයට හේතුව බිරිඳගේ අඩවැඩියාව යැයි ඔහු කියන්නේය.
බිරිඳගේ පාරම්පරික නිවසේ පදිංචි වී සිටි ඔවුන් පසුව එය අද කාලේ තාලෙට නවීකරණය කරගෙන ඇත. බිරිඳගේ තැන බින්න බැස්ස නිසාවෙන් හෝ ඔහු සිටියේ හැමදාමත් බිරිඳගේ කීමට අවනතවය. මේ අවුරුදු තිහටම කවමකවදාවත් ඔහු බිරිඳගේ තීරණයකින් පිට ගොස් නැත. කොටින්ම කියනවා නම් ඔහු සිටියේ බිරිඳට යටත්වය. නිවසේ පසුපස කොටසක මඩුවක් සාදාගෙන ගෙදරදී ද වඩු වැඩකරන ඔහු මුණගැසීමට පැමිණෙන සේවාලාභීන් ද හෙතෙම බිරිඳගේ පීඩාවට ලක්වෙන අයුරු අත්දකිනු ලැබේ.
ඔහු සතුටින් සිටින්නේ නිවසින් පිටවැඩකට ගිය දිනවලදී පමණි. එවැනි දිනවලදී මහත් ප්‍රීතියෙන් කොක් හඬ දී සිනාසෙමින් මහත් සතුටින් කතා කරමින් ඔහු හැසිරෙන බව මිතුරෝ පවසති. රාජකාරී කටයුතු කතා කර ගැනීම සඳහා ඔහු මුණගැසීමට කවුරුන් හෝ පැමිණිවිටදී “මහත්තයා මෙන්න ඔයා හම්බු වෙන්න කවුද ඇවිල්ලා” කියමින් ඈ බොහොම කරුණාවන්ත ලෙස ඔහු කැඳවන්නීය. කවුරු පැමිණ සිටියද කතා බහට ඇය ද හවුල් වේ. අවසානයේ පැමිණි පුද්ගලයාට කතා කරන්නට සිදුවන්නේ වඩු බාස් සමග නොව ඔහුගේ බිරිඳ සමගය. වඩු බාස්ට තියෙන්නේ ඔව්, නෑ, බෑ කියන්නට පමණි.
වහලවල් ගැසීම් වැනි ලොකු වැඩ සඳහා පිටත ගොස් සිටිනවිට දී ඔහුගේ මිතුරෝ බිරිඳගේ “හයිපාට්” ගැන කතා කරමින් ඊට දැඩි විරෝධය පළ කරති.
එහිදී බොහෝ දෙනකු කියන්නේ “ගහපං ඔය ගෑණිගේ කටට දෙකක්” කියාය. මේ කතාව බොහෝ දෙනෙකුගෙන් අසා ඇති ඔහු දිනක් එය අත්හදා බලන්නට සිතුවේය. එය සිදුවූයේ මෙසේය. එදින බිරිඳ නොනවත්වා ආඩපාලි කියාගෙන එනවිට ඔහු “කට වහපන් ගෑණියේ” කියමින් අත දිගහැර ඇයට කම්මුල් පහරක් දුන්නේය.
ඒත් සිදුවූයේ නොසිතූ විපතකි. පහර කෑ බිරිඳ බිම ඇදවැටී “මෙන්න මිනී මරනවෝ” කියමින් විලාප දුන්නාය. අල්ලපු නිවසේ සිටින ඇගේ මල්ලී හා නෑනා වහා එම නිවසට පැමිණියෝය. “තෝ කොහොමද යකෝ අපේ අක්කට ගහන්නෙ” කියමින් පැනගෙන ආ ඇගේ සහෝදරයා ඔහුගේ මුහුණට හා ඔළුවට පහරවල් දෙකතුනක් ඇන බෙල්ලෙන් අල්ලාගෙන දොර ළඟට ඇදගෙන ඇවිත් පිටුපස පෙදෙසට ද පහරක් දුන්නේය. ඒ පහරින් ඔහු කරකැවී ගොස් මිදුලට ඇද වැටුණේය.
ඒ අවස්ථාවේ එම නිවසට පැමිණෙමින් සිටි අසල්වැසියකු විසින් ඔහු ඔසවා කෙළින් කළේය. මහත් සේ බියට පත්ව සිටි ඔහු එම තැනැත්තාගේ ඇඟේ එල්ලෙමින් “අනේ මාව බේරාගන්න” යැයි ආයාචනා කළේය. තවත් පහරදීමක් සිදුනොවූ අතර සිද්ධිය ද එතනින් යටපත් විය.
මේ සිද්ධිය පිළිබඳව ඔහුගෙන් විමසන අයට “ඉතුරුටික කාලයත් මෙහෙම ඉන්නවා. නිස්කාරනේ මැරෙන්න බෑ” කියමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd