(ගල්ගමුව - නිහාල් ජයවීර)
බිරිඳට නිවසේ ඇතුළු කාමරයක් ලබා දී තමාට ඉස්තෝප්පු කාමරයේ නිදා ගැනීමට සලස්වමින් බිරිඳත්, පුතත්, ලේලියත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියෙකු ගල්ගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

එයට අනුව දෙපාර්ශ්වය පොලීසියට කැඳවිය. විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් (48369) මහතා පැමිණිල්ල විභාගයට ගත්තේය. මොකක්ද මේ කුඩම්මාගේ සැලකිල්ලක් කියන්නේ කොස්තාපල්වරයා වයෝවෘද්ධ පියාගෙන් ඇසීය.
මගේ පුතා ගෙයක් හැදුවා. පුතයි. ලේලියි, මගේ බිරියයි ගේ ඇතුළේ කාමරවල ඉන්නවා. මට එළියේ කාමරයක් වෙන් කරලා. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. අලියෙක් ඇවිත් ගහයිද කවුද දන්නේ” වයෝවෘද්ධ පියා කියවාගෙන යන්නට විය.
“කාමරේට අලි ඇවිත් ගහන්නේ නෑනේ මාමේ” කොස්තාපල්වරයා කීය.
නෑ එහෙම හරියන්නේ නෑ. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. හදිසියේ අසනීපයක් හැදුණොත් කවුද ඒක දන්නේ. මුන්දෑ ළඟ හිටියොත් ඒ බව දන්නවා”යි අසූ හැවිරිදි වියේ පමණ පසුවන බිරිඳ දෙස බලා ඔහු කීය.
දැන් මාමා කියන්නේ මාමටත් ගේ ඇතුළේ කාමරයක් දෙන්න කියලා. එහෙම නැත්නම් නැන්දත් මාමා ඉන්න කාමරේට එන්ඩ ඕන කියලා නේද? කොස්තාපල්වරයා ඇසීය.
ආන් ඒකනේ මං කියන්නේ. ඔය ළමයට විතරයි ඒක තේරුණේ. මුන්ට ඒවා තේරෙන්නේ නෑ. මට කතා කර කර ඉන්ඩවත් කවුරුවත් නෑ. එක්කෝ අපට වෙනම ගෙයක් හදාගෙන යන්ඩ වෙනවා යි වයෝවෘද්ධ පියා කියන විට නිලධාරින්ට සිනාව පාලනය කර ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් වෙනම නිවසකට යාමට වයෝවෘද්ධ බිරිඳ අකැමැත්ත ප්‍රකාශ කළ අතර නිවස ඇතුළේ කාමරයක මුල්ලක හෝ ඇඳක් දමා පියාට එහි විසීමට ඉඩ ලබා දෙන ලෙස කොස්තාපල් අජිත් මහතා පැමිණිලිකාර පියාගේ පුතුට හා ලේලියට උපදෙස් දී දෙපිරිසම පිටත්කර යැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කථාවෙන්ම තේරෙනවා අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය සහ වයසට ගිය අය ගැන හිතන විදිය. පොලීසියේ හිනා වෙච්ච අයට තමන් වයසට ගිය දවසක ඔය සීයාව අනිවාර්‍යයෙන්ම මතක්වෙයි. වයසට යන්න යන්න තමයි තනිකම වැඩියෙන් දැනෙන්නේ කියලා එතකොට මේ අයටත් දැනෙයි.
අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියාගේ ඉල්ලීම, පොලිසියේ නිලධාරීන් සමච්චලයට ලක් කලේ ඇයි කියා මට නම් හිතාගන්නවත් බැහැ.බල්ලෙක් පුසේක්වත් තනියම ඉන්න කැමති නැති නිසානේ නිවැසියන්ගේ ඇඟේ දැවටී, දැවටී ඉන්න බලන්නේ.. වයසට ගියාම දැනෙන පාළුව ,තනිකම ගැන අවබෝධයක් නැති මෝඩ මිනිසුන්. වයෝවෘද්ධ බිරිඳටවත් මෙයාව තේරුම් ගන්නට බැරි වීම නම් කණගාටුවට කරුණක්..
වියපත් වුණාට සැමියාට, බිරිඳ එක්ක ඉන්න දෙන්නම ඕනේ. ලෝකේ නීතිය එයයි. පුතත්, ලේලියත් හිතනවා ඇති අම්මාගෙන් වැඩ අරන් තාත්තාව එළියට දමන්න. පොලිසිය මීට වඩා දැනුවත් වෙන්න ඕනේ...
අද බොහෝ දෙනෙකුට තමන් කුඩා කළ හදා වඩා ගත් දෙමව්පියන් වයස්ගතවන විට මහා බරක් බවට පත් වී ඇත. මෙවැනි කෙලෙහි ගුණ නොදත් ජාතියක් කිසි දිනක දියුණු නොවේ.
ඔහු හොඳ අාදරවන්තයෙක් ...
ඇයි තමන්ගේ අම්මා තාත්තා මෙහෙම බලෙන් වෙන් කරන්නේ..? ඔය කොලුවා හදද්දී අම්මා තාත්තා එකට හිටිය එයාට මතක නැද්ද..? පව් ඒ අම්මටත්, සමහරවිට අම්මත් කැමති නැතුව ඇති තනියෙන් ඉන්න... එ්ත් මේ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා වෙන් කරනවා.. ඒවාට, මේ වගේ ගොබ්බ නිලධාරිනුත් උදව් කරනවා.
මේ පියාගේ ඉල්ලීම නම් සාධාරණයි.
තමන්ගේ ජීවිතයේ සැඳෑයාමය ගත කරන මේ මහත්මයා ගැන කණගාටු සිතෙනවා. ගම්බද බොහෝ විට පිරිමි නිදාගන්නේ තනිවමයි...
මෙය සිනාවිය යුතු දෙයක් නොවේ. මව සහ පියාට එක කාමරයක් සලසා දීම දරුවන්ගේ යුතුකමයි. වයසට යනකොට දෙමහල්ලෝ වෙන්කර තැබීම පව්...