පොඩි පොඩි කාමර අස්සට රිංගා බලන පොඩි ඉංග්‍රීසි පත්තරය නෝන්ඩි නොවී බලන්න අපූරුම තැනක් සොයා ගත් ජීවිතයේ අග්ගිස්සේ සිටින අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
පොඩි ඉංග්‍රීසි පත්තරය බලන්න ඔහු හුරුපුරුදුවූවේ වාඩියේදීය. ඒ වැඩබිමේ විවේකයක් ලද විගසය. ඔහු එයට ඇබ්බැහි වූවේ මිතුරන් මාර්ගයෙනි. කාලයක් යද්දී ඔහු පොඩි ඉංග්‍රීසි පත්තරයේ හොඳ පාඨකයෙක් වූවේය. පොඩි ඉංග්‍රීසි පත්තරය වාඩියේදී බැලුවත් ගමේ දී එය බැලීම මහ මදිකමක් විය. ඒ දූ දරුවන් සිටිනා බැවිනි. මෙය ප්‍රසිද්ධියේ බැලුව හොත් තමාට ගමේ කිසි තත්වයක් නැතැයි සිතූ ඔහු මේ සඳහා යෝග්‍ය උපක්‍රමයක් කල්පනා කළේය.
කොච්චර කල්පනා කළත් ඒ සඳහා අලුත් අදහසක් නම් නාවේය. එහෙත් එය අතහැරියේ නම් මිනිහා නොවේ. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කල්පනා කළේය. අමුවෙන් සිට මේ සඳහා අලුත් අදහසක් නොපැමිණි කළ ඔහු එකක් දෙකක් දාගෙන කල්පනා කළේය. එසේ කල්පනා කරන්න ඔහුට ප්‍රබල හේතුවක් තිබුණේය. ඒ වනවිට ඔහු සිය ජීවිතය එංගලන්තයටම උකස් කර සිටියේය. එහෙත් දූ දරුවන්, වටපිටාව, සමාජය ඊට හරස්වී තිබුණේය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙමින් තිබුණේය.
පොඩි ඉංග්‍රීසි පත්තරය බැලීමට ඔහුට ගණ දෙවියන් අලුත් ඤාණයක් පහළ කර දුන්නේය. ඔහු එය ක්‍රියාත්මක කළේය. දැන් පොඩි ඉංග්‍රීසි පත්තරය බලන්න පොඩි පොඩි කඩ කාමරවලට රිංගන්න වුවමනා නොවීය. එයට හිමිදිරියේම කාටවත්ම නොපෙනෙන්න රිංගනුයේ පොඩි ඉංග්‍රීසි පත්තරය ගැනීමට පමණි. එය ලබාගත් සැනින් ඔහු එය කමීසය උස්සා ඉනේ ගසාගෙන සඟවාගෙන එහේ මෙහේ කරක් ගහන්නේ වෙලාව එන තෙක්ය.
වෙලාව ආ සැනින් ඔහු එම ස්ථානයට කිසිදු බයක් නැතිව යන්නේ එය උගතුන්, බුද්ධිමතුන් පාසල් සිසුන් ඇතුළු සැමදෙනා යන ස්ථානයක් නිසාය. ඔහු එම ස්ථානයට යන්නේය. එහි ඇති මේසයේ කොනක් අල්ලා ගන්නේය. දැන් මිනිහා වැඩය. මේ ස්ථානයේ තිබූ ලොකු පත්තරයක අස්සකට මෙතෙක් වෙලා ඉනේ ගසාගෙන සිටි පොඩි ඉංග්‍රීසි පත්තරය දමා ගන්නේය. ඒ පත්තරය බලන ගමන්ම පෑනකින් කොළ කෑල්ලක යම් යම් දේ සටහන් කර ගන්නේය. බැලූ බැල්මට පෙනෙනුයේ ඔහු ලොකු පත්තරය කියවන ගමන් එහි ඇති වැදගත් දේවල් සටහන් කර ගන්නා බවකි.
මේ ස්ථානයට සැමදාම එන පාඨකයකුට ඔහු ගැන සැක සිතෙන්නේය. ඒ අනුව ඔහු දවසක් ඔහුට හොරා නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නේ ඔහු පුස්තකාලයට පැමිණ සිංහල පත්තරයක් අස්සට රේස් පත්තරයක් දමා අශ්වයන් තෝරන බවය. ඔහුගේ මේ පුවත් පත් කියවීම දැන් ප්‍රසිද්ධ රහසක් වෙමින් ඇත.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd