කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
රැස්ව සිටි කෙල්ලන්ට හා කොල්ලන්ට පේන්න පෙරහරට ගෙන ආ අලියා වැඩ දම දමා නාවන්න ගොස් අලි අමාරුවක වැටී ඒ අලි අමාරුව අලි තුන් දෙනකුගෙන් යැවූ ඇත්ගොව් ගැටයකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
රෑ පෙරහර සඳහා ඔහුගේ අලියා ගැට ගසා තිබුණේ අම්බලන්ගොඩ විහාරස්ථානයක බිමෙහිය. ඒ තවත් අලි දෙන්නකු සමගය. දහවල් මේ ගැට ඇත්ගොව්වා තමා බලන අලියා මාදම්පා ගඟට ගෙන ගියේ නාවන්නය. අලියා නාවන තැනට කොල්ලන් මෙන්ම කෙල්ලෝද පැමිණ සිටියහ.
ඇත්ගොව් ගැටයාද සිටියේ රත් වෙමින්ය. රත් වෙන්න රත් වෙන්න ඔහුගේ අලියා නෑව්වේ වැඩ පෙන්වමින්ය. අලියා නාවා ගොඩට පැමිණි ඔහුට තරු පෙනුනේය. ඒ අලියා නෑවීමට ගඟට බැසීමට පෙර ගං ඉවුරේ ඔහු තබා ගිය රුපියල් ලක්ෂයක පමණ ජංගම දුරකතනය උස්සා ඇති බව දැකීමෙන් පසුවය.
ඇත්ගොව් ගැටයාට කර කියා ගත දෙයක් නොහැකි විය. ඔහු නෑවූ අලියා සමග යළි විහාරස්ථානයට ආවේය. අනෙක් අලි දෙදෙනා ද නාවාගෙන එම විහාරස්ථානයටම ගෙන ඇවිත් තිබිණ. ඔහු තමාගේ ජංගම දුරකතනය සොරකම් කළ කෙනා අහුවුණොත් කරන දෑ කීවේ සුද්ද සිංහලෙනි. මහ හයියෙනි. විහාරස්ථානයේ හාමුදුරුවන්ටද මෙය ඇසිණි.
හාමුදුරුවෝ එම ස්ථානයට වැඩියහ. මේ ගැටයාට විහාරස්ථානයේ පරුෂ වචන නොකියන ලෙස ඉල්ලා සිටියහ. ඇත් ගොව් ගැටයාට මළ පැන්නේය. වැඩිය කතා කළොත් තමාගේ අලියා පමණක් නොව අනෙක් අලි දෙදෙනා ඇතුළු අලි තුන්දෙනාම ලිහා යන්න අරින බවට ඔහු කෑ ගැසූවේය. ඒ විතරක්ම නොව දිය නා පොල් අතු බුදිමින් සිටි තමාගේ අලියා පමණක් නොව අනෙක් අලි දෙදෙනා ඇතුළු අලි තුන් දෙනාම හාමුදුරුවන්ට පාඩමක් උගන්වන්න ඕනෑ යයි කියමින් ගිනි කාෂ්ඨක අව්වේම දක්කා ගෙන ගියේය.
ඒ වන විට එක අලියකුගේ ඇත් ගොව්වා නැගිටුවා ගැනීමට නොහැකි අයුරින්ම රහමෙර පානය කර තිබූ හෙයින් ඔහුට තව දුරටත් එහිම සැතපෙන්න ඉඩදී ඔහුගේ සහායකයා එම අලියා දක්කාගෙන ද ගියේය. ඇත් ගොවු ගැටයාට වූ පාඩුවේ වාඩුව ගෙවන්න සිදුවූයේ අලි තුන් දෙනකුට බව එය දුටු සහ දැන ගත් අය කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd